දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට?

දුමින්ද සිල්වාමරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට මාරු කැර යැවීමට තීරණය වී තිබේ.

ඊයේ (11) බන්ධනාගාර කොමස‍ාරිස් ජනරාල් නිශාන් ධණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔහු ව ජයවර්ධනපුර රෝහල වෙත යැවීම සිදු වනු ඇති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දු මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙන් මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයට යොමු කළ දුමින්ද සිල්වා එම දිනෙන් දෙදිනකට පසු බන්ධනාගාර රෝහලට යොමු කෙරුණේ ඔහුට උණ රෝගය වැළඳී ඇතැයි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කළ නිර්දේශය මතය.

මාසයකට ආසන්න කාලයක් උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටි අතර ඊයේ (11) ඔහුව ජයවර්ධනපුර රෝහලට යැවීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කැර ඇත්තේ අමතකවීම ,කරකැවිල්ල,දිගටම පවතින හිසරදය සහ කල්පනාව නැතිවීම රෝග තත්ත්වයන් ඇඳ ඉහ පතෙහි සඳහන් කරමිනි.

මෙම රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට ඔහුට මෙයට පෙර ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වෙත යැවීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍ය කණ්ඩායම සටහන් තබා තිබේ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙයට පෙර සිංගප්පූරුව රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු කැර ඇත්තේද මෙම වෛද්‍යවරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මේ අතර දුමින්ද සිල්වා නම් වූ රැදවියා බැලීමට පසුගිය දිනක පස්වරුවේ දිසා විනිසුරුවරියක්ද පැමිණ ඇති අතර ඇයගේ පැමිණිමෙන් පසු ඔහුව ජයවර්ධනපුර රෝහලට මාරු කැර යැවීම කඩිනම් වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.පස්වරු 6.00 න් පසුව බන්ධනාගාර රැඳවියන් බැලීමට කිසිඳු පිටස්තර පුද්ගලයකුට අවසර නොලැබෙන බැවින් මෙම දිසා විනිසුරුවරිය පැමිණියේ කෙසේ දැයි බන්ධනාගාර නිලධාන් විමතිය පළ කරයි..