දිවයින පුරා ජංගම පොලිස් ස්ථාන 456ක්

මහජනයා පොලීසියට එන තෙක් නොසිට පොලීසිය මහජනයා වෙත ගොස් ඔවුන්ගේ ගැටලු හා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබා දී එම අවශ්‍යතාවන් ඔවුන් පදිංචි ප්‍රදේශය තුළදීම කඩිනමින් ඉටුකිරීමටත් ඔවුන්ගේ නොවිසඳුණු කල් පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීමටත් වසමේ දැනට පවත්වාගෙන යන පොලිස් ස්ථානයට අමතරව ජංගම පොලිස් ස්ථාන 456ක් මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීය.

පොලීසිය හා මහජනතාව අතර ශක්තිමත් බැඳීමක් වර්ධනය කිරීමටත් අපරාධ බියෙන් තොර සාමකාමී පරිසරයක් ඇතිකිරීමටත් මේ ජංගම පොලිස් ස්ථාන පිහිටුවීමේ අරමුණ බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හඳුන්වාදීමක් වශයෙන් මේ ජංගම පොලිස් ස්ථාන මාසයක් පුරා සෑම වසමකම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ප්‍රජා පොලිස් සංකල්පය ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළදී පොලීසිය සම්ප්‍රදායික රාජකාරියෙන් ඔබ්බට ගොස් සෙසු රාජ්‍ය නිලධාරීන් සමඟ ඒකාබද්ධ වෙමින් මේ සමාජ සංවර්ධන කාර්යය ඉටුකරනු ඇත.

ගම්වැසියන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ එකමුතුවෙන් තම ගැටලු විසඳා ගැනීමේ යාන්ත්‍රණය මේ කමිටුව තුළ ක්‍රියාවට නැංවෙන බව කියන පොලිස්පතිවරයා මේ හරහා 4,20,000ක් පමණ පිරිසක් ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය සේවකයන්, සිවිල් වැසියන් ජන පවුරක් ලෙස මෙම වැඩසටහනට දායක වන බව ද පැවැසීය.

දිවයින තුළ පිහිටි පොලිස් ස්ථාන 456ක පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දීම සඳහා උපදේශකවරුන් ලෙස, අනුශාසකවරුන් ලෙස, ප්‍රජා නායකයන් ලෙස හා විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ද සැදුම්ලත් 5000 ක පමණ සුවිශේෂී විද්වතුන් පිරිසක් මෙම වැඩසටහන තුළට බද්ධ වී සිටින බව ද පොලිස්පතිවරයා සඳහන් කළේය.

මේ ප්‍රජා පොලිස් සංකල්පයේ ප්‍රධාන අරමුණ වන්නේ 2017 සිට ඉදිරි වර්ෂ තුන ඇතුළත අපරාධ හා රථවාහන අනතුරු 20% දක්වා පහළ මට්ටමකට ගෙන ඒමය.

ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වැළැක්වීම හා පාලනය, මත්ද්‍රව්‍ය හා දූෂණ නිවාරණය හා පාලනය, රථවාහන අනතුරු පාලනය හා මාර්ග ආරක්ෂාව, පොදු කටයුතු සිදුකිරීම, අධ්‍යාපන, ක්‍රීඩා, විනෝද කටයුතු (ශ්‍රමදාන වැඩසටහන්, ආගමික කටයුතු, අධ්‍යාපනික වැඩසටහන්, සංස්කෘතික වැඩ සටහන්, සෞඛ්‍ය වැඩ සටහන්, ක්‍රීඩා වැඩ සටහන්) ක්‍රියාත්මක කිරීම ද අදාළ වේ.

මාසයක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කෙරෙන මෙම ජංගම පොලිස් ස්ථානවල ක්‍රියාවලිය ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ප්‍රියංකර ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.