දෙසැම්බර් 1වැනිදා සිට ලංකාවේම බස් වර්ජනයක

රථවාහන වැරැදි සම්බන්ධයෙන් 2017 අය - වැය ලේඛනයෙන් අවම දඩය රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට එරෙහිව දෙසැම්බර් මස 1 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

බස් රථ නඩත්තු ගාස්තු ඉහළ යෑම, සැලකිය යුතු මගීන් පිරිසක් පෞද්ගලික බස් සේවාවෙන් බැහැරවීම ඇතුළු කරුණු ගණනාවක් නිසා බස් කර්මාන්තය පවත්වාගෙන යෑමට අසීරු අවස්ථාවක දරා ගැනීමට නොහැකි ලෙස මෙසේ වැඩි කරන දඩ මුදල් ගෙවීමට තම බස් රථ විකුණා දැමීමට සිදුවන බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව අමාත්‍යවරයා කරුණු දැක්වීමට තම සංගමය ඇතුළු බස් සංගම් ගණනාවකට අවස්ථාව ඉල්ලා සිටියදී එක් සංගමයකට පමණක් එම අවස්ථාව ලබාදී ඇති බවත් තම දුක්ගැනවිලි සම්බන්ධයෙන් රජය නොසලකා හැරීමට එරෙහිව මෙම වර්ජන තීරණයට එළැඹි බවත් හෙතෙම සඳහන් කරයි.