රනිල්ගෙන් විමල්ට ආරාධනයක්!

දෙපාර්ශ්වය අතර වන දේශපාලන අවබෝධය වෙනුවෙන් සාකච්ඡාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පණිවිඩයක් යවා ඇති බව දැන ගැනීමට තිබේ.
 
ප්‍රසිද්ධියේ සාකච්ඡාවක් සඳහා එකඟ විය නොහැකි බවට වීරවංශ මහතාගේ පාර්ශ්වයෙන් පිළිතුරක් යවා ඇති නමුත් මේ වන විට එම පාර්ශ්ව දෙක අතර යම් අවබෝධයක් මත දේශපාලන කටයුතු සිදු වෙමින් තිබෙන බව ද අනාවරණය වේ.

මේ වන විට විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමක් විය යුතුව තිබෙන නමුත් ඒ මඟහැර සිටීමේ අවස්ථා ගණනාවක් ඔහුට හිමිව තිබිණි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වීරවංශ මහතාව මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම සිදු කරන්නේ අත්අඩංගුවට ගැනීමක් කිසිසේත් සිදු නොවන බවට සහතිකය වීමෙන් පසුවය.

උප්පැන්න සහතික, ගුවන් බලපත්‍ර අක්‍රමිකතාව සහ රාජ්‍ය දේපළ අවභාවිතය ආදී චෝදනා රැසක් වීරවංශ මහතාට, එම බිරිඳට සහ ඔහුගේ සොහොයුරා ඇතුළු හිතවතුන් ගණනාවකට එරෙහිව එල්ල වී ඇත. සොහොයුරා හා එම පක්ෂයේ ප්‍රබලයන් වූ ජයන්ත සමරසිංහ සහ මුසම්මිල් මහතා පසුගිය දා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට ද පත්කර ඇත. තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව තිබුණ ද යම් යම් හේතු මත එය වැළැක්වීම ද සිදුව ඇත.

කෙසේ නමුත් විමල් වීරවංශ මහතා සහ අගමැතිවරයා අතර යම් එකඟතාවක් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද චෝදනා කළේය. ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීම සහ ගමන් බලපත්‍ර එකකට වඩා ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නේ ඔහු සහ අගමැතිවරයා අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවටත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර රහස් ගිවිසුමක් තිබෙන බවට මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පසුගිය දා චෝදනා කළේය. කුමාර් ගුණරත්නම් රිමාන්ඩ් භාරයේ සිටිය දී විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති පාස්පෝට් චෝදනාව අනුව ඔහු අත්අඩංගුවේ පසුවිය යුතු බවත් ඔහු පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා ද පසුගිය දා පවසා සිටියේ අලුත් පක්ෂය හැදීමෙන් පසුව එජාපය සමඟ ඩීල් දැමූ ඒකාබද්ධ විපක්ෂයේ පුද්ගලයන්ව හෙළිදරව් කරන බවය.

- සුභාෂ් ජයවර්ධන