බිරින්දෑ පිටුපෑ නිසා ඇඟ කපාගෙන

මෙයට මාස 6කට පමණ පෙර විවාහ වී පවුල් ආරවුලක් මත සැමියා සමඟ අමනාපව මාස දෙකක් තිස්සේ තම මහගෙදරට වී සිටින බිරිය හමුවී තරහ මරහ අමතක කර ගෙදර යමු යැයි කළ යෝජනාව බිරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා දුකට පත් සැමියෙක් ඇය ඉදිරිපිටදී අතේ පස්පොළක් කපාගෙන එම බ්ලේඩ් තලය ගිලදැමූ පුවතක් නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නුවරඑළිය නගර මධ්‍යයේදී ඉකුත් 4දා මෙය සිදුව ඇති අතර බිරිය විසින් සැමියා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි.

රාගල පදිංචිකරුවකු වූ අරක්කැමි රැකියාව කරන ඔහු කඳපොළ තරුණියක සමඟ වසර දෙකක් තිස්සේ පෙම් සබඳතා පවත්වාගෙන ගොස් දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ වී තිබිණි.

විවාහ වී මාසයකින් දෙකකින් පසු ඇතිවන අඬදබර වැඩිවීම නිසා ඇය මීට මාස 2කට පමණ පෙර ඔහු හැර දමා ඇයගේ මවුපියන් ළඟ පදිංචියට ගොස් සිට ඉකුත්දා කඳපොළ පොලිසියට පැමිණිල්ලක් කොට තිබී ඇත.
ඉන් පසු ඔහු ඇයට දුරකතන ඇමැතුමක් දී නුවරඑළිය නගරයට ගෙන්වාගෙන පවසා ඇත්තේ ආදරය කරල බැඳපු අපි පොලිසි යන්නේ මොකටද අපි පසුගිය දේවල් අමතක කරලා අපේ ගෙදර ගිහින් ඉමු යනුවෙනි.

කොතෙක් ආයාචනා කළත් ඇය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා දුකට පත් ඔහු එතෙක් වෙලා සඟවාගෙන සිටි බ්ලේඩ් තලයක් එළියට ගෙන සිය දකුණු අත පස්පොළකින් කපාගෙන අනතුරුව බ්ලේඩ් තලය බිරිය බලා සිටියදීම කටේ දමාගෙන සපා ගිල දැමූ බව ඔහු විසින් පොලිසියට පවසා ඇත.