ලොලිපොප් එකේ යකඩ ඇණයක්

තම දරුවාගේ පස්වැනි උපන් දිනය දා මිලට ගෙන දුන් ලොලිපොප් ටොෆියේ තිබී යකඩ ඇණයක කොටසක් හමුවූ බව දික්ඔය මානික්ක තේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ එම්.බාලා නමැත්තා පවසයි.

හැටන් - දික්ඔය මානික්කවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් ඉකුත් 05දා හැටන් නගරයට පැමිණියේ සිය දරුවාගේ පස්වැනි උපන් දිනය වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන දීමටය. නැවත යමින් සිටියදී දරුවාගේ පෙරැත්ත කිරීම නිසාම ප්‍රසිද්ධ වෙළෙඳසලකින් මෙම ලොලි පොප් එක මිලදී ගත් බව ඔවු කීය.

බස්රථයේ ගමන් කරන අවස්ථාවේ දරුවා මුවේ රුවාගෙන උරමින් සිටි ටොෆිය එළියට ගත් අවස්ථාවේ දිස්වූ වෙනස පරීක්‍ෂා කිරීමේදී යකඩ ඇණයක කොටසක් මතුවෙමින් තිබූ බව ඔවු කීය.

මෙම ටොෆිය මුව තුළ රුවාගෙන උරමින් සිටියදී යම් විදියකින් එම යකඩ ඇණයේ කොටස දරුවාට ගිලුණා නම් හෝ උගුරේ සිරවුණා නම් ඇතිවන්නේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

පුංචි දරුවන්ගේ ප්‍රියතම රස කැවිලි නිෂ්පාදනයේදී අනාරක්‍ෂිතව කෙරෙන කටයුතු නිසා නිමේෂයකින් තමන්ට දරුවා අහිමි වන්නට තිබූ බව පවසන ඔවු රසකැවිලි නිෂ්පාදනය කරන ආයතනවලින් ඉදිරියේදී මෙවන් දෑ සිදු නොවීමට වගබලා ගන්නා ලෙස ඉතාම කාරුණිකව ඉල්ලා සිටි.