දැරිය නරුමයකුට ගොදුරු වෙලා

කොටුවේ වැඩ කරන පියාට තේ රැගෙන යෑමට නිවෙසට පැමිණෙමින් සිටි 9 හැවිරිදි දැරියක් අසල වැසිකිළියකට රැගෙන ගොස් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයකු වලපනේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් එස්.එල්.එම්. විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට ඇත.

මේ දැරියගේ මව රට රැකියාවකට ගොස් සිටින අතර දැරිය අත්තම්මා සමඟ ජීවත් වෙයි. මෙදින දැරිය සිය පියාට තේ රැගෙන යෑමට පැමිණෙන විට දැරිය නිවෙස ආසන්නයේ පදිංචිකරුවකු වූ සැකකරු සැඟවී බලා සිට එක්වරම දැරිය වැසිකිළිය තුළට රැගෙන ගොස් තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ සිදුවීම ගැන දැරිය කිසිවකුට හෝ පවසා නැතත් ඇයගේ යෝනි පෙදෙසින් ලේ වහනය වී තිබෙනවා දුටු අත්තම්මා ඇය වැඩිවිය පැමිණ ඇතැයි සිතා කටයුතු කිරීමට ගොස් යළි සැක සිතී රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කොට තිබේ. 

ඉන් අනතුරුව දැරිය මහනුවර මහ රෝහල වෙත යවා සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඇය දූෂණයට ලක්ව ඇතැයි තහවුරු වීමෙන් පසු කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මතුරට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන චමින්ද (46045), රණවීර (77736), නදුන් (83874) යන අය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.