මවක් දරු දෙදෙනා දමා රට ගිහින්

ලෝක ළමා දිනය ගෙවී දින 4ක් ගතවීමට මත්තෙන් එනම් ඊයේ (5දා) බළන්ගොඩ ප්‍රදේශයේ දෙදරු මවක් තම දරුවන් දෙදෙනා අතහැර දමා විදේශගතව ඇතැයි එම කාන්තාවගේ වයස අවුරුදු 13ක් වන වැඩිමහල් පුත්‍රයා බළන්ගොඩ පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.

සිය නැඟණිය වන වයස අවුරුදු තුනහමාරක් වන දැරිය සමඟ බළන්ගොඩ පොලිසියට පැමිණ ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට දින 3කට ඉහතදී තම මව විදේශගත වීම සඳහා තමන් හා නැඟණිය මවගේ සහෝදරිය (පුංචි අම්මා) වෙත භාරදී නිවෙසින් පිටවූ බවයි. පුංචි අම්මා ඊයේ (5දා) ප්‍රකාශ කර ඇත්තේ නැඟණිය භාර නොගත් අතර භාර ගත්තේ ඔහු පමණක් බවයි.

 ඒ අනුව නැඟණිය භාර ගැනීමට නොහැකි බව පුංචි අම්මා පැවැසූ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ. මේ දරුවන්ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී මියගිය බවද ඔහු පොලිසියට පවසා ඇත.


වහාම ක්‍රියාත්මක වූ බළන්ගොඩ පොලිසියේ නිලධාරීන් මේ දරුවන් අතහැර දමා ගිය කාන්තාවගේ දුරකතනයට ඇමැතුම් ලබා ගත්තද එය අක්‍රියව තිබිණි. කෙසේ වෙතත් බළන්ගොඩ පොලිසිය මඟින් කටුනායක ගුවන් තොටුපොළ වෙත හා මත්තල ගුවන් තොටුපොළ වෙත මේ පිළිබඳව දන්වා ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව ගුවන් තොටුපොළවල නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මේ දරුවන් භාරගත් බවට සඳහන් කරන විදේශ ගත වූවා යැයි සැක කෙරෙන කාන්තාවගේ නැඟණියගෙන් පොලිසිය කරුණු විමසීමට කටයුතු කරන බව බළන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් සඳහන් කෙළේය. දරුවන් දෙදෙනාට දැනට අවශ්‍ය පහසුකම් ලබාදීමට බළන්ගොඩ පොලිසිය පියවර ගෙන තිබේ.