එජා මීළඟ මහලේකම් ඇන්ටෝනියෝ ගිටරෙස්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහලේකම්වරයා ලෙස එහි ආරක්ෂක මණ්ඩලය විසින් පෘථිගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගිටරෙස් මහතා ඒකමතිකව අනුමත කර තිබේ.

වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ නිල කාලය මේ වසරෙන් අවසන් වීමට නියමිත අතර ඒ අනුව එළඹෙන 2017 වසරේ මුල් කාලයේ සිට ඇන්ටෝනියෝ ගිටරෙස් මහතා එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඡන්දය මේ වෙනුවෙන් ප්‍රකාශ වන අතර නිශේධ බලය සහිත නිත්‍ය සාමාජිකයන් පස්දෙනා වන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ චීනය එහිදී තීරණාත්මක වන බවද මහලේකම් තෝරා ගැනීමේ දී පස්දෙනාම එකම මතයකට පැමිණ තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගිටරෙස් මහතා 1995 වසරේ සිට 2002 දක්වා පෘතුගාලයේ අගමැති වූ අතර 2005 වසරේ සිට 2015 දක්වා සරණාගතයන් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ලෙස සේවය කර තිබේ.

කෙසේ වුවද වසර 70 ක එක්සත් ජාතීන්ගේ ඉතිහාසය තුළ මේ දක්වා මහ ලේකම්වරුන් 8 දෙනෙකු පත්ව තිබෙන අතර කාන්තාවක් ඒ සඳහා පත්වී නොමැත.