ඇඳුම් ගලවා පහරදී ගුද මාර්ගයට බටයකුත් දාලා

තඹුත්තේගම ප්‍රදේශයේ තරුණයකු වැව් පිටියකට රැගෙන ගොස් දෑත් බැඳ, ඇඳුම් ගලවා ගුද මාර්ගයට යකඩ බටයක් ඇතුළු කර බරපතළ තුවාල සිදු කර ඔහු සතු ජංගම දුරකතනය පැහැරගෙන ගොස් සිටි සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත් එස්. බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය. 

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම ප්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ ආබාධිත සෙබළකු හා තවත් දෙදෙනෙකි.

මෙහිදී තඹුත්තේගම පොලිසිය මඟින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් සිවුදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම මත්පැන් අවසන්වූ පසු මදිපාඩුවට මත්පැන් සොයමින් යන අතරතුරදී පහර කෑ පුද්ගලයා හමුවී ඇති බවයි.

එහිදී මත්පැන් තිබෙන ස්ථානයක් විමසූවිට නීති විරෝධී මත්පැන් අලෙවිය සිදු කරන ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ඒ වනවිට එම ස්ථානයේද නීති විරෝධී මත්පැන් නොතිබුණ නිසා රාත්‍රි කාලයේ තමන් රවට්ටවා රස්තියාදු කළ බව සඳහන් කරමින් පහරදී ඇති බවයි.

සැකකරුවන් විසින් පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා දැනට තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර දැනට එක් සැකකරුවකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති නිසා ඔහුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළේය.