කොටි නිවේදිකාව මැරුවැයි හැදූ චිත්‍රපටිය තහනම්

කොටිහඬ රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් කටයුතු කළ ඉසප්‍රියා නැමැත්තිය මෙරට යුද්ධයේ දී රජයේ ආරක්ෂක අංශ අතින් අමානුෂික ලෙස ඝාතනය වූ බවට සකස් කළ තමිල්නාඩු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම මදුරාසි මහාධිකරණය විසින් තහනම් කර තිබේ.

කේ. ගනේෂ් නැමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කර තිබෙන පෝර්කලාතිල් - ඔරු - පූ හෙවත් යුද බිමේ කුසුම ලෙස නම් කළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදීම ඉන්දීය සිනමා රැඟුම් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

ඉසිප්‍රියාගේ මහ සහ සොහොයුරිය ඇතුළු ඥාතීන් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව ඒ සඳහා අතුරු තහනම් නියෝගයක් ද නිකුත්කර තිබෙන අතර එම නියෝගය තහවුරු කරමින් මදුරාසි මහාධිකරණය පෙරේදා (8) ප්‍රකාශ කළේ එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට හානියක් සිදුවිය හැකි බවයි.

මේ චිත්‍රපටය මඟින් ඉන්දීය සහ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විවේචනය කරන අතරම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ඊළාම් සිහිනය සාධාරණීකරණය කිරීමට උත්සාහ ගෙන තිබෙන බවද මදුරාසි මහාධිකරණ විනිසුරු ටී.එල් සිවඥානම් මහතා පෙන්වා දී තිබේ. ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන එම චිත්‍රපටය නැරැඹීමෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් දූෂණය වන බවද හෙතෙම සඳහන්කර ඇත.