රනිල් නවසීලන්තයෙන් ඉන්දියාවට යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් සිවු දින නිල සංචාරයක් සඳහා අද (4දා) පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලියට පැමිණෙති.

සිය තෙදින නවසීලන්ත නිල සංචාරය නිමවීමෙන් පසු වෙලින්ටන් නුවර සිට නවදිල්ලියට පැමිණෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා ප්‍රධාන ඉන්දීය ජේ‍යෂ්ඨ අමාත්‍යවරුන් කිහිප පළක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් මේ මස 6දා නවදිල්ලි නුවරදී ඇරැඹෙන ඉන්දීය ආර්ථික සමුළුවටද අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස සහභාගි වෙති.


අග්‍රාමාත්‍යවරයා සමඟ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන හා උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන් මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්වෙති.