ජනපති කතාව කණකොකා හැඬීමක් ! - සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය රාජපක්ෂට දූෂණ චෝදනා ඉදිරිපත් කිරීමට විරුද්ධව ජනපති සිරිසේන විසින් ඊයේ එනම් 12වනදා එල්ල කරන ලද ප්‍රසිද්ධ වාග් ප්‍රහාරය 2015 ජනවාරි නිහඩ විප්ලවයෙන් බිහිවූ සමගි ආණ්ඩුවවේ අසමගිය පෙන්වන ඉතාම තීරණාත්මක ප්‍රකාශයයි.
එය එක්තරා විදිහක කණකොක් හඩකි.
දැන් පෙනෙන විදිහට ජනාධිපති සිරිසේනට ගෝඨාභය රාජපක්ෂ දේශපාලන වශයෙන් රැක ගැනීම අවශ්‍ය ය. නැත්නම් රාජපක්ෂ දශකයේ දුෂ්ඨත්වයේ සංකේතය වන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරමින් ස්වාධීන කොමිෂන් සභාවන්ට ප්‍රසිද්ධියේ බැණ වදින්නේ නැත.
රාජපක්ෂවරු දවසේ පැය 24 පුරාම සිය ජාතිවාදී දේශපාලනය පණ ගැන්වීමට කටයුතු කරමින් ගොඩ නගන බලවේගය දැක ජනාධිපති සිරිසේන බියවූවාවත්ද?
මෙරට ජනයා සමඟ දේශපාලනය කරනවා වෙනුවට අගමැති සහ ජනපති දෙදෙනා තරඟයට ලොව වටා සවාරි යෑම සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබේ. රාජපක්ෂලාගේ ජාතිවාදී දේශපාලනය ජනතා මට්ටමෙහි පරාජය කිරීමට දෙදෙනාම කරන දෙයක් නැත.
අල්ලස් සහ දූෂණ විමර්ෂන කොමිසම සහ මුල්‍ය අපරාධ විමර්ෂන ඒකකය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නාවික නිලධාරින් තිදෙනෙකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම ගැන උරණ වී ප්‍රසිද්ධ රුස්වීමකදී එම ආයතන ප්‍රසිද්ධියේ හෙළා දැකීම දූෂණ පිටු දැකීමේ ජන වරමකින් බලයට ආ ජනාධිපති සිරිසේනට කිසිසේත්ම ඹබින්නේ නැත.
ජනපති සිරිසේනට ජනවාරි ජනවරම ලැබුණේ ගෝඨාභය ඇතුලු සියළුම රාජපක්ෂලාගේ දූෂණ භීෂණ නතර කරන බවටත් එම ක්‍රියාවන්ට දඩුවම් දෙන බවටත් රටපුරා යමින් පොරොන්ද වු නිසාත්ය.
රාජපක්ෂවරුන් රැක ගැනීම පිණිස මෙලෙස ස්වාධීන ආයතනයන්ට ජනාධිපති සිරිසේන විසින් බැණ වැදීම කෙටියෙන්, රාජපක්ෂ යුගය සිහි ගැන්වීමකි.
19වන සංසෝධනය විසින් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවන්ට බියවීමට දැනටම ජනපති සිරිසේන පටන් ගෙන තිබේද?
එසෙත් නැත්නම් මෙම කොමිෂන් සභා එක්කෝ අගමැතිගේ නැත්නම් ජනාධිපතිගේ අතකොළු ලෙස කටයුතු කරන්නට පටන්ගෙන තිබේද?
කොමිෂන් සභාවන්හි ලේකම්වරුන් බිය ගන්වමින් සිරිසේන විසින් ඔවුන්ට තර්ජනයක්ද කර තිබේ. ඔහු කියා ඇත්තේ ‘තමන් පත් කරන ලද්දේ ජනාධිපති වන තමා විසින් බව මතකයේ තබා ගෙන සිමාව ඉක්මවා නොයන ලෙස’ යි. මේ වනාහී යහපාලන ජනාධිපතිවරයකුට නොහොබිනා සහමුලින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයකි.
සමහර විට සිය පුත්‍රයාගේ නොමනා හැසීරිමෙන් උදහසට පත් ජනාධිපතිවරයාගේ ලේ රත්වී තිබෙන්නට ඇත. නැත්නම් සිය පුත්‍රයාගේ බීමත් මදාවි හැසිරීම විසින් ඇති කරන ලද ජනමතය යටපත් කිරීම පිණිස ගෝඨාභය පිටුපස සැඟවීමට සිතුවා වීමටත් පුලුවන. එසේත් නැත්නම් මේ තර්ජනාත්මක ප්‍රකාශය දහම් සිරිසේනගේ මදාවිකම් පිළිබඳ නිසි පරික්ෂණයක් නොකරනසේ පොලීසියට දෙන ලද අනියම් අවවාදයක් ද විය හැක.
යුද හමුදාවේ බුද්ධි නිලධාරීන් අත්අඩංඟුවේ තබා ගැනීමට විරුද්ධවද එම රුස්වීමේදීම සිරිසේන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම විසින් අඟවන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ නඩරාජා රවිරාජ් ඝාතනය යනාදී පරික්ෂණවන්ට කණ කොකා හැඬීමට හොදටම ඉඩ ඇති බවයි.

යම් යම් දේශපාලන විචාරකයින් දැනටමත් සැක උපදවා ඇති පරිදි සිරිසේනගේ මෙම වාග් ප්‍රහාරය අනියමින් රනිල් වික්‍රමසිංහට එල්ල කරන ලද එකකි. මන්දයත් අල්ලස් සහ දූෂණ කොමිසම සහ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය යන දෙකම රනිල් වික්‍රමසිංහ යටතේ පවත්නා බවක් පෙනී යන නිසාය.
මේ තාක් කල් සිරිසේන පාර්ශයයේ ඉල්ලකකරුවන් රනිල් වික්‍රමසිංහට චෝදනා කළේ ශ්‍රිලනිපය දෙකට කඩා සිය බලය තහවුරු කර ගැනීම පිණිස රාජපක්ෂවරුන්ට විරුද්ධව ඇති වංචා දූෂණ යටපත් කරන බවටය. එසේ නම් දැන් හදිසියේම ගෝඨාභය රාජපක්ෂට මුල්‍ය චෝදනා එල්ල කරන ලද්දේ මන්ද? සිරිසේන - ගෝඨාභය සන්ධානයක ඉව වැටී රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උප්පරවැට්ටියක්ද?
ඉහත කී වාග් ප්‍රහාරයේ සංකේතාත්මක තේරුම රනිල් වික්‍රමසිංහට විරුද්ධව ජනපති සිරිසේන රාජපක්ෂ කක්ෂය කරා ඇදීයාමක් නම් ඒ විසින් ශ්‍රී ලංකාව දේශපාලන අරාජිකත්වයකට ඇදී යාමට හොඳටම ඉඩ තිබේ. ඇත්ත තත්වය නම් ශ්‍රීලනිප ජන පදනම තවමත් තමා කරා ගෙන ඒමට සිරිසේන අසමත්වී ඇති බවයි. ඔහුගේ දක්ෂතාවය ඇත්තේ පක්ෂ කළමණාකරුවකු ලෙස විනා ජනතා දේශපාලනඥයකු ලෙස නොවන බව පෙනෙන්නට තිබේ. ඔහු දේශපාලන උද්ඝෝෂකයකු නොවන බව නම් ඉතා පැහැදිළිය.
එජාපයේ සහාය නැතිව ජනපති සිරිසේනට දේශපාලන පැවැත්මක් ඇත්තේ රාජපක්ෂ ඇතිව හෝ නැතිව රාජපක්ෂවාදී දේශපාලනයක් කරා ගිය හොත් පමණකි. සමහර විට ඒ සඳහා පාළම ගෝඨාභය රාජපක්ෂ විය හැකිය. එවැනි එකතුවක පදනම වනු ඇත්තේ යුදවාදය, ආගම්වාදය සහ ජාතිවාදයයි. එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් දේශපාලන වශයෙන් සිරිසේනට වඩා ආසන්න චම්පික රණවකගේ මෑත ජාතිවාදී සහ රණකාමී ප්‍රකාශයන්ද අපට පෙන්වන්නේ ආණ්ඩුව තුළ සිංහල - බෞද්ධ දේශපාලන කේන්ද්‍රයක් වටා ඇති වෙමින් තිබෙන ගොනු වීමයි. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයේ දෙවන නායකයා කිරීමට කැසකැවූ ජෝන් සෙනවිරත්න ළඟදීම ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවට වාසුදේව නානායක්කාර කළ ප්‍රකාශයද අප සිහියේ තබා ගත යුතුය.
ජනපති සිරිසේනගේ වාග් ප්‍රහාරයට මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ ඇදී එමින් පවත්නා දේශපාලන සුළියට ද සම්බන්ධ විය හැක. ඇත්ත වශයෙන්ම නම් එම සුළියෙන් ගොඩ ඒමට රනිල් වික්‍රමසිංහට අති දුෂ්කර වනු ඇත. රුපියල් බිලියන 10ක් ලාභයක් එජාපයේ සහායෙන් වසරක් ඇතුළත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ගජයකුවූත් මහ බැංකු අධිපතිවූත් මහේන්ද්‍රන්ගේ බෑණා සමත් වීම සමහර විට යුගයේ දැවැන්තමතම වංචාව නොවිය හැකිද? එජාපය මත වැටි ඇති දැවැන්තතම සොහොන් ළකුණ බැදුම්කර වංචාවයි.
කොළඹ ඉහළ පොළේ තතු දත් ආරංචි මාර්ගයන්ට අනුව ආණ්ඩුවේ දෙපාර්ශවය තුළම වංචාව සහ දූෂණය මුල් බසිමින් තිබේ.
බැඳුම්කර වංචාව රටට පෙන්වා වික්‍රමසිංහ සමඟ ඇති සන්ධානයෙන් කැඩී ගොස් ගොඨාභය සමඟ සන්ධාන ගතවී පළාත් පාලන මැතිවරණය තරඟ කිරීමට සිරිසේන සැරසෙනවාවත්ද?
දැන් දැන් ආණ්ඩුවේ ගමන්මඟ පෙන්නුම් කරන්නේ ජනවාරි විප්ලවයේ සුක්කානම ආපසු කරකැවීමට ප්‍රභල උත්සාහයන් තිබෙන බවයි.
2015 ජනවාරි නිහඬ විප්ලවය සැම පාර්ශවයකම ජාතිවාදී සහ රණකාමී දේශපාලනයන් හමුවේ ආපසු හැරවෙනු ඇත්ද යන්න වර්ථමාන වර්ධනයන් විසින් අප හමුවේ තබන ප්‍රශ්ණයයි. සිරිසේනගේ වාග් ප්‍රහාරය හුදකළා ප්‍රකාශයක් ලෙස නොව අප සැළකිල්ලට ගත යුත්තේ මෙම සමස්ත සන්දර්භය තුළය.
ශ්‍රීලනිපය සමගි ආණ්ඩුවෙන් ඉවත් කර රාජපක්ෂ රත්නපුරයේදී කී අනාවැකිය අනුව යමින් පාර්ලිමේන්තුවේ බල තුලනයේ වෙනසක් ඇති කර රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් ඉවත් කිරීම දක්වා මෙම වර්ධනය ගමන් කරනු ඇත්දැයි කීමට තවම කල් වැඩිය.
ආණ්ඩුවට දොන් නම් දොන් සිමන් නම් සිමන් පිළිවෙතක් නැතිවුව හොත් ක්‍රමයෙන් එකී පිරිහීම කරා රට තල්ලු වී යාමට ඉඩ තිබේ.
එවැනි වර්ධනයක් විසින් මුලු රටම ආරාජිකත්වය කරා ගමන් කරනු හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සහ සුලුතර ප්‍රජාවන් යළි අගාධයක් කරා තල්ලු කර දමනු හැකිය.
- රාවය -