ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක්‌ එයි

මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින එච් අයි වී/ ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එච් අයි වී/ ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවීමේ අවදානමක්‌ පවතින කණ්‌ඩායම්වල කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීමේ ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීමට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ.

මෙම කොන්ඩම් ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක කරමින් පවතින අතර එච් අයි වී/ ඒඩ්ස්‌ රෝගය පැතිරීමේ වැඩි අවදානමක්‌ පවතින සංචාරක කලාපවල සේවය කරන වෙරළ ආශ්‍රිත ළමුන් (බීච් බෝයිස්‌), සංචාරක මඟ පෙන්වන්නන්, රූම් බෝයිස්‌, විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන ත්‍රිරෝද රථ රියෑදුරන් ඇතුළු සංචාරක හෝටල්වල සේවය කරන්නන් රෝගී වෛරසය ශරීරගත වන ආකාරය හා ඉන් වැළකී සිsටිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටත් ඔවුන් එච්. අයි. වී. රුධිර පරීක්‍ෂාවක්‌ සඳහා යොමුකිරීමටත් පියවර ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

මෙරට අනාරක්‍ෂිත ලිංගික සබඳතා හේතුවෙන් එච් අයි වී / ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වන පාසල් සිසුන්, තරුණයන් හා ගෘහාශ්‍රිත කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යැමේ අවදානමක්‌ පැවතීම හා නව යොවුන් වියෙහි ගැහැනු දරුවන් අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක්‌වීම ඉහළ යැමට පිළියම් වශයෙන් කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ මතුව ඇති බව ඔහු කීවේය. මෙහිදී අවදානම් හැසිරීම් රටාවන් සහිත කණ්‌ඩායම් සඳහා නිසි ලෙස කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික කොන්ඩම් ප්‍රතිපත්තිය හඳුන්වා දුන් බව හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (23 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති "එච්. අයි. වී. මර්දනය ආරක්‍ෂිත සිදුකිරීම" මැයෙන් වූ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් වෛද්‍ය සිසිර ලියනගේ මහතා මෙම කරුණු අනාවරණය කළේය.