හිරුණිකා අද අධිකරණට

දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවෝ 09ක් අධිකරණය නිකුත් කළ සිතාසි මත ප්‍රථම වරට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිති.

විත්තිකරුවනට එරෙහිව නඟා ඇති අධිචෝදනා ඔප්පු කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් 33ක්ද සී. සී. ටී. වී. කැමරා දර්ශන ඇතුළු ලේඛන 05ක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දන්වා ඇත.

පැලවත්ත විතානගේ නිරංජන්, හසිත් මලින්ත ජයතිලක, රූපසිංහ ආරච්චිගේ කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාරද සොයිසා, මයිකල් ඇන්තනි, හසින් මොහොමඩ් රිස්වාන්, ඇන්තනි ජෝෂප් හා හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර යන විත්තිකරුවනට එසේ අධිචෝදනා නඟා ඇත.

නඩුවේ සෙසු විත්තිකරුවන් 08 දෙනා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂක නිලධාරීන් හා ආධාරකරුවෝ වෙති.

2015.12. 21 දෙමටගොඩ දී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා පැහැර ගැනීම, අයුතු ලෙස සිරකර තබා ගැනීම, අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නඟා ඇත.