ඉදිරි තරගවලට මැතිව්ස් අවිනිශ්චිතයි

ඔස්ට්‍රේලියාවට එරෙහි ඉදිරි තරග තුනට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දිනේෂ් චන්දිමාල් කියයි.

දඹුල්ලේදී පෙරේදා පැවැති එක්දින තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී නායක මැතිව්ස්ගේ දකුණු පාදයේ කෙණ්ඩයේ ආබාධයක් හට ගත්තේය. ඔහු නොන්ඩි ගසමින් පිටියෙන් ඉවතට ගොස් යළි අමාරුවෙන් කඩුල්ලට පැමිණ පිතිහරඹයේ යෙදුනේය. ඉන්පසුව ක්‍රීඩා කෙරුණු තරගයේ දෙවැනි ඉනිමේදී මැතිව්ස් පිටියට නොපැමිණි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ චන්දිමාල් ය.

“මැතිව්ස් හෙට (අද) ස්කෑන් පරීක්ෂණයකට යනවා. සියල්ල තීරණය වන්නේ එතැනදීයි” චන්දිමාල් පෙරේදා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

“බොහෝ විට ඇන්ජිට පස්වැනි එක්දින තරගයටත් ඉන්පසුව පැවැත්වෙන විස්සයි20 තරග දෙකටත් ක්‍රීඩා කරන්න බැරිවේවි. ඔහු ආබාධයට ලක්වීම කණ්ඩායමට ලොකු අවාසියක් වුණා. අපට සිටි එකම ප්‍රධාන වේග පන්දු යවන්නා ඔහුයි. දැන් ඉදිරි තරග සඳහා වේග පන්දු යවන්නෙක් සොයා ගන්න වෙනවා” චන්දිමාල් කියා සිටියේය.

මැතිව්ස් හතරේ පහර 4ක් එල්ල කරමින් පන්දු 71කින් ලකුණු 40ක් රැස් කළේය. ඔහු අවසන් හතරේ පහර දෙක එල්ල කළේ ආබාධයට ලක්වීමෙන් පසුව යළි කඩුල්ලට පිවිසි අවස්ථාවේදීය.

“මැතිව්ස් ලකුණු අතරට යන්න හදනකොටම එයා ආබාධයට ලක්වුණා. එසේ නොවුනා නම් අපට ලකුණු 250 – 260කට යන්න තිබුණා. එවැනි මුළු ලකුණු ප්‍රමාණයක් තිබුණා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා” චන්දිමාල් සඳහන් කර සිටියේය.

“අපි ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ඇත්තේ කලකිරීමකි. මේ තරගමාලාව පුරාම අපේ මුල් පිතිකරු පෙළ බිඳ වැටුණා.

අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුනේ ඔහු අවුරුදු 19න් පහළ තරග බිමේ හා පුහුණුවීම්වලදීත් ඉතා හොඳින් පිතිකරණයේ නියැළුනු නිසා බවද චන්දිමාල් කීවේය. ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘චැම්පියන්ස්’ කුසලානය හා ඉන්පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය හමුවේ ශ්‍රී ලංකාව දැන් සිටම පිතිකරුවන් සූදානම් කර ගත යුතුව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවෙක් බවත් ඔහු මෙතෙක් එම කාර්යයේ නොසිටියේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් සිටි නිසා බවත් කී චන්දිමාල්, “ ඩිල්ෂාන්ගේ සමුගැනීමෙන් පස්සෙ ඉනිම ආරම්භ කරන්න ධනංජයට අවස්ථාව උදාවුණා” යැයිද කියා සිටියේය.

“පන්දු රැකීමේදීත් අපේ පොඩි පොඩි දුර්වලතා තිබුණා. මේ සියල්ල හදාගෙන පල්ලෙකැලේ අවසාන එක්දින තරගය ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා.”

පෙරේදා තරගයේදී තමා කඩුලු රැකීමට සිටි බවත් එහෙත් නායකත්වය දැරීමට සිදුවූ නිසා කුසල් ජනිත් පෙරේරා ට කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කිරීමට සිදුවූ බවත් චන්දිමාල් කීවේය.

“කඩුලු රකිමින් සිටියදී කණ්ඩායමට නායකත්වය දෙන්න අමාරුයි. කණ්ඩායමට නායකත්වය දෙන්න මේ ලැබුනු අවස්ථාව ගැන සතුටු වෙනවා. ඉදිරි තරගවලදීත් නායකත්වය ලැබුනොත් එය ඉතා හොඳින් කිරීමට උත්සාහ කරනවා” දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.