අයවැයෙන් වාහන මිල වෙනස්‌ වන්නේ නෑ

ඉදිරි වසර දෙක තුළ වාහන ආනයන බදු සංශෝධනයකට ලක් නොකරන බවට තමන් වෙත මුදල් අමාත්‍යවරයා විසින් ‍පොරොන්දුවක් ලබා දී ඇති බවත් ඒ අනුව ඉදිරි අයවැයේදී වාහන ආනයන බදු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවනු ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ (21) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා ප්‍රකාශ කළේ එළැඹෙන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ දෙවැනි අයවැය මගින් වාහන අඩු වේද වැඩි වේද යන්න පිළිබඳව මහජනතාව අතර අවිනිශ්චිත බවක් පැවතුණද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය වෙත ලබා දුන් ‍පොරොන්දුවට අනුව මෙරට වාහන ආනයන බදු සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් සිදු නොවනු ඇති බව පෙන්වා දුන්නේය.
එහිදී තවදුරත් අදහස් දැක්වූ මෙරෙංචිගේ මහතා අයවැය ළඟදී එන නිසා වාහන මිලදී ගන්නන් අතර පසුගිය දවස්වල මතයක් පැතිර ගියා, වාහන මිල අඩුවෙයිද කියල. සමහරු මෙම බදු නැවත වැඩිවේවි කියලත් මත පළ කර තිබුණා. මේ අවිනිශ්චිතතාව අපේ ව්‍යාපාරවලටත් බලපෑවා. මොකද ජනතාව වාහන මිලදී ගැනීමට තරමක් අදිමදි කරන ස්වභාවයක් තිබුණා. ඒ වගේම මිලදී ගන්නට එන අය අපෙනුත් ඉදිරි අයවැයෙන් මොකක් වේවිද කියල විමසුවා. මේ නිසා අප මේ ගැන මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා. පසුගිය අප්‍රියෙල් මාසයේදී වාහන ආනයනකරුවන් ට අමාත්‍යවරයා ‍පොරොන්දුවක් දී තිබුණා, මෙම වාහන බදු වසර දෙකක් යනතුරු කිසිදු වෙනසකට ලක් නොකරන බවට. ඒ ‍පොරොන්දුව කිසිදු ආකාරයෙන් වෙනසකට ලක් නොකරන බවට ඔහු මෙහිදී ‍පොරොන්දු වුණා.

ඒ වගේම මෙහිදී අප වාහන සම්බන්ධයෙන් පවතින ඇතැම් බදු සංශෝධනය කරන්න කියලත් මේ අවස්ථාවේදී ඉල්ලුවා. එහෙත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මේ මොහොතේ රටේ මූල්‍ය තත්ත්වය සහ ආර්ථිකය සම්බන්ධයෙන් පවතින තත්ත්ව පිළිබඳව සැලකීමේදී කිසිදු ආකාරයකට එම බදු අඩු කිරීමේ හැකියාවක් නෑ කියලයි. පුළුවන් විදිහට මේ ව්‍යාපාරය ඒ කාලය තුළ කරගෙන යන්න කියල අමාත්‍යවරයා අපෙන් ඉල්ලා සිටියා. යයිද මෙරන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ මෙරංචිගේ මහතා කෙසේ වුවද වාහන ආනයනය සම්බන්ධයෙන් දැනට පවතින බදු සම්බන්ධයෙන් වන අඩුපාඩු නිවැරදි කිරීම පිළිබඳව තමන් අමාත්‍යවරයා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව බොහෝ විට වාහන වටිනාකම් තක්සේරු කිරීමේදී සිදුවන යම් යම් අඩුපාඩු බොහෝ විට නිවැරදි වනු ඇතැයි බලා‍පොරොත්තු වන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.