ඇන්ජලෝ මැතිව්ස් ඉන්නකන් මට තැනක් ලැබෙන්නේ නැ

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. මෙම තීරණය ඔහු අද (23දා) කොලඹ මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

එක්දින තරගවලින් සමුගැනීමට දිල්හාර අදහස් කර ඇත්තේ දිගින් දිගටම තමාව කණ්ඩායමට තෝරා නොගත් නිසා බවත්, කණ්ඩායම් නායකයා (ඇන්ජලෝ මැතිව්ස්) තමාට අවස්ථාව ලබාදීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත් ඔහු එහිදී හෙළි කළේය.

“මම සියලුම තරගවලදී ඉතා හොඳින් ක්‍රීඩා කළා. නමුත් නායකයා මට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. වත්මන් තේරීම් කමිටුවත් මාව දිගින් දිගටම කපාහැරියා. මම කලකිරිලා තමයි සමුගන්නෙ* යනුවෙන් ලොකුහෙට්ටිගේ පවසා සිටියේය.

කෙසේ වෙතත් ලොකුහෙට්ටිගේට ඔස්ට්‍රේලියානු නිව්සවුත්වේල්ස් දිස්ත්‍රික් කණ්ඩායමක් වෙනුවෙන් එරට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී ඇති බවත්, මාස 06 ක් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමට අදහස් කරන බවත් ඔහු පවසා සිටියේය. අනතුරැව ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමට අදහස් කරන ඔහු අවස්ථාවක් ලැබුණහොත් ඒ සියල්ල අතහැර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග සඳහා ක්‍රීඩා කිරීමට අදහස් කර ඇත.

ලොකුහෙට්ටිගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 09 ක් හා විස්සයි20 තරග 02 ක් ක්‍රීඩා කර තිබේ.