විරැකියා අනුපාතය පහළ බසී

මෙරට විරැකියා අනුපාතය සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සේවා අංශයේ රැකියා ජනනය ඊට හේතු වී තිබේ. මේ වසරේ පළමු කාර්තුව අවසානයේ දී දිවයිනේ මුළු රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව හැත්තෑනව ලක්ෂ හැටනවදාහක් වී ඇතැයි ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම කාලය තුළ සේවා අංශයේ නව රැකියා 155,638 ක් හා කර්මාන්ත අංශයේ නව රැකියා 72,273 ක් බිහි වී තිබේ.

පළමු කාර්තුවේ දී කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ රැකියා 59,051 ක් අහිමි වී ඇති බවද ජන හා සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජන හා සංඛ්‍යා ‍ලේඛන දත්ත අනුව පසුගිය වසර තුන තුළ මෙරට විරැකියා අනුපාතය සියයට 4 ත්, සියයට 5 ත් අතර විචලනය වී ඇත.
අමිල අබේරත්න