මහකොමසාරිස්‌ට පහර දුන් කල්ලියේ නායකයා අල්ලයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ඉබ්‍රාහිම් අන්සාර් මහතාට පහරදීම මෙහෙයවූ ඊළාම් කල්ලියේ නායකයා ඊයේ (05 දා) බුකිම් සෙන්වෝසා ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

41 හැවිරිදි වියේ පසුවන්නකු වන මොහු නාම් තමිලර් නමැති කොටි හිතවාදී සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු බව හෙළි වී තිබේ.

ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේ වීඩියෝ කැමරාවක පටිගත වූ දර්ශන මත අත්අඩංගුවට ගත් ඊළාම්වාදීන් පස්‌දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු ගැන හෙළි වී ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට පහර දීමේ සිද්ධියට තවත් ඊළාම්වාදීන් සිව්දෙනකු සම්බන්ධ බව ද පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ ඊළාම්වාදීන් පස්‌දෙනාගේ ඡායාරූප නාම් තමිලර් Facebook අඩවියෙන් මකා දැමීමට එම අඩවිය මෙහෙයවන වෙබ් ප්‍රධානියා විසින් ක්‍රියාකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මේ අතර මැලේසියාවේ සිටින කොටි හිතවාදීන්ට අනතුරු ඇඟවීමක්‌ කළ පොලිස්‌පති කාලිද් අබුබකර් මහතා කොටි ක්‍රියාකාරකම් සම්බන්ධව දැඩි පියවර ගන්නා බව පවසා තිබේ.