කුරුණෑගලට අපි යන්නේ නෑ - ඒකාබද්ධ විපක්ෂය

කුරුණෑගලදී හෙට (04 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වැනි සංවත්සරයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39 දෙනා සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය.

එමෙන්ම පළාත් සභා මන්ත්‍රී සංසදයේ, පළාත් පාලන ආයතන සංසදයේත් තීරණය මෙය බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


ප්‍රධාන කරුණු තුනක්‌ පදනම් කරගෙන පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි නොවිය යුතු බවට පක්‍ෂ ආසන බල මණ්‌ඩල රැස්‌වීමේදී ගනු ලැබූ ඒකමතික තීරණය අනුව ඊට සම්බන්ධ නොවන බව ඔහු සඳහන් කළේය.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අනුගමනය කරන එජාප ගැති ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම, පක්‍ෂයේ 5 වැනි නායකයා හා මව්බිමේ පස්‌වැනි විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව සංවිධානාත්මකව, අපේම ඇතැමුන්ගේ නායකත්වයෙන් මෙහෙයවනු ලබන චරිත ඝාතන, අවලාද හා සියලු කුමන්ත්‍රණවලට විරෝධය පළ කිරීම හා මේ විරෝධය හරහා ආදරණීය පක්‍ෂය නිරෝගී මාවතකට යොමු කර ගැනීමට ගනු ලබන අවංක උත්සාහය යන කරුණු තුන පදනම් කරගෙන සංවත්සරයට සහභාගි නොවිය යුතු බවට සියලු ආසන බල මණ්‌ඩල රැස්‌වීම්වලදී තීරණය වූ බව ද ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය.

ජනාධිපතිවරයා සමඟ තිබෙන පෞද්ගලික තරහකට හෝ වෛරයකට හෝ නොව තිබෙන දේශපාලන ගැටලුවක්‌ නිසා මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂයේ 66 වැනි සංවත්සරය සමරන අවස්‌ථාව වන විට ශ්‍රීලනිපය සිරිකොතේ ශාඛාවක්‌ බවට පත්වීම වළක්‌වා ගැනීම සඳහා 65 වන සංවත්සරයේදී මෙම තීරණය ගත්බවත් අලහප්පෙරුම මහතා පැවැසීය.

පක්‍ෂයේ සංවත්සරය පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායමේ ස්‌ථාවරය ප්‍රකාශයට පත් කරමින් පැවැති මාධ්‍ය හමුවේදී ඩලස්‌ අලහප්පෙරුම මහතා මෙම කරුණු සඳහන් කළේය.