දුමින්දට දුන් තීන්දුවෙන් නෛතික ගැටලූ රැසක්

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිවු දෙනකු මරණයට පත් කළ සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ දී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා වන අභියාචනයක් පසුගිය 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩු විභාගය අවසානයේ දී ලබා දුන් බෙදුණු තීන්දුව සම්බන්ධයෙන් නීති ක්ෂේත‍්‍රය තුළ මේ වන විට විවාදාත්මක තත්ත්වයක් පවතී.

මෙහි දී විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව පැමිණිල්ල විසින් අධිචෝදනා ගොනුකර තිබූ අතර දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව පද්මිධෑ එන්. රණවක විනිසුරුවරිය චෝදනා කිහිපයකට සිර දඬුවම් නියම කිරීම සහ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම කිරීම ද සිදු කළාය. එම්. සී. බී. එස්. මොරායස් විනිසුරුවරයා ඔහුගේ තීන්දුවක් ප‍්‍රකාශයට පත් නොකර රණවක මහත්මියගේ තීන්දුවම අනුමත කළේය. පසුව විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් ප‍්‍රකාශයට පත්කර විත්තිකරුවන් සියලූ දෙනාව සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙහි දී ශිරාන් ගුණතිලක මහතාගේ තර්කය පදනම්ව තිබුණේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් ලබා දෙන ලද සාක්ෂිවල පරස්පරතාව මත විත්තිකරුවන්ට සැකයේ වාසිය හිමි විය යුතු වීම පෙර විනිශ්චයන්වල දී ද පිළිගත් මූලධර්මයක් වන නිසා මෙහි දී ද ඒ අනුව කටයුතු කරන බවය. පැමිණිල්ලට සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ බව ගුණතිලක මහතාගේ නිගමනය වේ.

එසේම පද්මිණී රණවක මහත්මියගේ නඩු තීන්දුවේ ද මෙම සාක්ෂි පරස්පරතා සම්බන්ධයෙන් සටහන්ව තිබේ. එහෙත් ඇය පොලිස් විමර්ශනවල දී සාක්ෂිකරුවන් ලබා දුන් කටඋත්තර නොසලකා හැර පසුකාලීනව අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂි පිළිගැනීමට ලක් කර මෙම නඩු තීන්දු ලබා දුන්නාය. එහෙත් එහි දී සාක්ෂිකරුවන්ට මුල් අවස්ථාවේ දී එල්ල වූ ජීවිත තර්ජන සහ බලපෑම මත වැරැදි සාක්ෂි පොලීසියට ලබා දුන් බව පැවැසුව ද එවැනි තර්ජනයක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂිකරුවකු අධිකරණය හමුවේ එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කිරීමට සමත්ව තිබුණේ ද නැත. ඒ අනුව මුල් කටඋත්තර නොසලා හැරීමේ පදනම ගැටලූසහගතය

සාමාන්‍යයෙන් යුක්තිය පසිඳලීමේ දී සාක්ෂිකරුවකු යම් සිදුවීමත් සමඟ අප‍්‍රමාදව ලබා දෙන සාක්ෂිය වඩා නිරවද්‍ය බවට සලකනු ලබයි. පසුව ලබා දෙන සාක්ෂි විවිධ බලපෑම්වලට යටත් වීම ස්වාහාවිකය. පොලීසිය හමුවේ දී දෙවරක්ම ලබා දුන් සාක්ෂියක් අධිකරණයේ දී වෙනස් වීම ඒ අනුව නොසලක හැරිය නොහැකිය. එවැනි සාක්ෂිකරුවකුගේ සාක්ෂිය නඩු තීන්දුවක දී සලකා බැලීම අතිශය පරීක්ෂාකාරීව සිදු කළ යුතු බව නීතියේ පිළිගැනීමය.

ඒ කෙසේ නමුත් මෙම නඩු තීන්දු දෙකම පරිශීලනය කිරීමෙන් එකම කරුණක් සම්බන්ධයෙන් විනිසකරුවන් දෙදෙනකු පරස්පර නෛතික අර්ථකතන ලබා දීම කැපි පෙනේ.

මෙහි දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් මුල් අවස්ථා එකකදී හෝ දෙකකදී පොලිස් විමර්ශනවල දී ලබා දුන් කටඋත්තර අධිකරණය හමුවේදි වෙනස් කිරීම මෙන්ම ඇතැම් සාක්ෂිකරුවන් ලබා දුන් කට උත්තර අසත්‍යය බව අධිකරණයේ දී හෙළිවීම සිදුව තිබිණි. එමෙන්ම මෙම සාක්ෂිකරුවන් සියලූ දෙනාම පැමිණිල්ලේ පාර්ශ්වික සාක්ෂිකරුවන්ය. ස්වාධීන සාක්ෂි ලබා ගත යුතු අවස්ථා පවා මෙම පොලිස් විමර්ශනවල දී මඟහැර තිබිණි. එමෙන්ම මෙම පොලිස් විමර්ශනය ද අතිශය දුර්වල ආකාරයෙන් සිදුව තිබෙන බව ද මෙම නඩු විභාගය තුළ දී හෙළිවිය. විමර්ශන නිලධාරින්ගේ ඇතැම් සාක්ෂි කෙසේවත් පිළිගැනීමට නොහැකි තරමට අඩුපාඩු සහිතව තිබිණි. මෙම විමර්ශනය සිදු කළේ වර්තමානයේ දී පසුගිය පාලන සමයේ දී සිදුව තිබෙන අතිශය බරපතළ සිදුවීම් විමර්ශනය සම්බන්ධයෙ කීර්තියක් උසුලන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වීම මත මෙම විමර්ශන අඩුපාඩු සහිත වීම ගැටලූසහගතය.

කෙසේ නමුත් මෙම දඬුවම නියම කිරීමේ දී මෙම විත්තිකරුවන් පොදු චේතනාවක් මත අදාළ වරදවල් සිදු කළ බවටත් ගෙන එන නෛතික තර්කයද අභියෝගයට ලක්වන්නකි. මෙම වෙඩි තැබීමේ සිදුවීම පෙර සැලැස්මක් අනුව සිදු වූවක් බවට කිසිදු සාක්ෂි නැතත් පෙර පැවැති විරසක හෝ විත්තිකරුවන්ගේ පෙර හැසිරීම පදනම් කරගෙන මේ සැලසුම් සහගත ඝාතනයක් බවත් නිගමනය කර කිහිප දෙනෙකුටම එරෙහිව එකම දඬුවම ලබා දීම ගැටලූ සහගත බව ද පෙනේ. මෙහිදී අදාළ මරණ සිදු කිරීමට හේතු වූ වෙඩි තැබීම සිදු කර තිබුණේ එක් පුද්ගලයකු විසින් හා එක් ගිනි අවියකිනි. ඒ සඳහා කිසිවකු හෝ නියෝග ලබා දීම සිදුව නොතිබිණි. ඒ මොහොතේ ඇති වු ක්ෂණික තත්ත්ව මත මේ සියල්ල සිදුව තිබේ. එමෙන්ම පළමු වෙඩි ප‍්‍රහාරය එල්ල වී තිබුණේද පැමිණිලි පාර්ශ්වයෙනි.

මෙම නඩු තීන්දු දෙක සම්බන්ධයෙන් පැන නැගෙන නෛතික ගැටලූ රැසක් තිබෙන අතර මෙම නඩු තීන්දුව මෙරට ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් නිසා ද මේ සම්බන්ධයෙන් දිර්ඝ විග‍්‍රහයක් ඉදිරි සතියක දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

සුභාෂ් ජයවර්ධන