ප්‍රභාකරන්ගේ ඇඳුම් ගලවන්නැයි ෆොන්සේකා කිව්වා

"රණබිම ඔස්සේ නන්දිකඩාල්" කෘතිය පිළිබඳ කතාබහ තවමත් අවසන් වී නැහැ.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කළ මෙම කෘතිය මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරඹුණු සැණින් විකිණී අවසන් වීම එයට සාක්ෂියක්.

එහි දෙවන මුද්‍රණය ද වෙළඳපොලට නිකුත් කිරීමට සියළු කටයුතු සූදානම් බව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දෙවන මුද්‍රණය ද එසැණින් අවසන්වනු ඇති බවට බලාපොරොත්තුවන බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නිමාවූ යුද්ධය පිළිබඳ ආන්දෝලනාත්මක කතා රැසක් මෙම කෘතියේ අන්තර්ගත වීම මෙවන් සුවිසල් ප්‍රතිචාරයක් ලැබීමට ප්‍රබලම හේතුව යි.

එම ආන්දෝලනාත්මක කතා අතර මියගිය LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඇඳුම් ගැලවීමට එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා නියෝග කළ බව ද පැවසෙනවා.

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ තමන් එම නියෝගය පිළිපැදීම සිදු නොකළ බව යි.

සිය නියෝගය ඉවත හෙළීම පිළිබඳව සරත් ෆොන්සේකා හමුදාපතිවරයා තමන්ට ඉතා තදින් බැණවැදුණ බව ද ගුණරත්න මහතා පවසනවා.

එම අවස්ථාව පිළිබඳව ඔහු සිහි කරන්නේ මේ අයුරින්.

"නිල ඇඳුමක් අඳින්න අවසර ඇත්තේ හමුදාවට පමණක් නිසා ප්‍රභාකරන්ගේ ඇඳුම ගලවන්න කියලා හමුදාපතිවරයා මට නියෝග කළා. නමුත් දහස් ගණනක් සෙබළුන් මැද යුද වාර්තාකරුවන් මැද මෙවැනි දෙයක් කරන්න අපහසුයි කියලා මම යුද හමුදාපතිවරයාට කීවාම ඔහු මට තදින් දොස් කීවා. ඒ වෙලාවේ නම් මම කලකිරුණා ප්‍රභාකරන් මරලත් බැනුම් අහන්නේ ඇයි කියලා."