ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි

හෝමාගම අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් ඇති කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ ‍මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති සංශෝධිත චෝදනා පත්‍රය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

අදාළ සිද්ධිය මඟින් සිදු කර ඇති බව කියන අපහාස චෝදනා අවශ්‍ය නම් වෙන් වෙන්ව සවිස්තරව ඉදිරිපත් කර ගොනු කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී. අදාළ පැමිණිල්ල ඊයේ (27) කැඳවූ අවස්ථාවේදී නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම දැනුම්දීම කෙළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම පැමිණිල්ල කැඳවන ලදී.

එහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා මෙම පැමිණිල්ල සම්බන්ධ මූලික විරෝධතා 2ක් ඉදිරිපත් කළේය.

මීට පෙර සිය සේවාදායකයාට ලබාදුන් සිතාසියෙහි ඔහුට එරෙහි චෝදනා සවිස්තරව ඉදිරිපත් කර නැති බවද, එසේම එහිදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කර නැති බවද එහිදී මූලික විරෝධතා ලෙස ඉදිරිපත් කරන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට සහාය දීම සඳහා පැමිණ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ අවශ්‍ය නම් එම සිද්ධිය සහ චෝදනා පැහැදිලි කර ඉදිරිපත් කළ හැකි බවයි.

එහෙත් පහළ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධ නඩු විභාග කර තීන්දු ප්‍රකාශ කිරීමට සහ දඬුවම් පැමිණවීමට අභියාචනාධිකරණයට ඇති බල තල අනුව අදාළ සිතාසි නිකුත් කිරීම සිදු කර ඇති බව ඒ මහතා කීය. ඒ අනුව විත්තිකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කරන දෙවන මූලික විරෝධතාව අපැහැදිලි බව හෙතෙම සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කෙළේ අනවශ්‍ය කරුණු මතු කරමින් මෙම පැමිණිල්ල දිගින් දිගටම පත්වාගෙන යාමට විත්තිකරුගේ නීතිඥවරයා උත්සාහ කරන බවක් අධිකරණයට හැඟී යන බවය.

කෙසේ වුවද අවශ්‍ය නම් අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට සලකා බලන ලෙස අධිකරණය නීතිපතිවරයාට මෙහිදී උපදෙස් දුන්නේය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය ලබන ඔක්තෝබර් මස 13 වැනිදාට පෙර ගොනු කරන ලෙසද ඒ සම්බන්ධ වන විරෝධතා පිළිබඳ ලිඛිත දේශන නොවැම්බර් මස 18 වැනිදා ඉදිරිපත් කරන ලෙසද නියම විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව ඉකුත් ජනවාරි මස 25 වැනිදා හෝමාගම අධිකරණයේදී විභාග වී අවසානයේදී විනිසුරුවරයා විනිසුරු අසුනෙහි සිටියදීම විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරුණු බවට සඳහන් විය.

එම හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිද එලෙස අපහාසයක් සිදු කර ඇත්නම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගතහැකි පියවර කවරේද යන්න සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම මහේස්ත්‍රාත්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පැමිණිල්ල සලකා බැලූ අධිකරණය කළ දැනුම් දීම අනුව නීතිපතිවරයා සකස් කළ චෝදනා පත්‍රය මීට පෙර බාරදී තිබේ. එදින නිකුත් කළ සිතාසි මත ඥානසාර හිමියෝ ඊයේ (27) අධිකරණය හමුවෙහි පෙනී සිටියහ.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම ලබන ඔක්තෝබර්මස 13 වැනිදා කැඳවීමට තීරණය කෙළේය.