සයිබර් අපරාධ මඬින්න නව නීති

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සයිබර් අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට මේ දිනවල නව නීති සකස් කරගෙන යන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එය සකස් කළ වහාම පාර්ලිමේන්තුව හමුවට ගෙන එන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සිරිකොතදී ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එම අදහස් ප්‍රකාශ කළ අතර එහිදී කියා සිටියේ ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය සාමාන්‍ය වෙබ් අඩවියක් ලෙස සකස් කර තිබු බවයි. ඒ නිසා එහි ආරක්ෂාව අඩු බව ද කීවේය.

කෙසේ වුව ද අදාළ සිද්ධියට සම්බන්ධ‍ 17 හැවිරිදි පාසල් සිසුවා අධ්‍යාපනයට අති දක්ෂයකු බවත්, සමහර විට වත්මන් රජය කිසිවෙකුගෙන් පළි නොගන්නා නිසා ඔහුට ශිෂ්‍යත්වයක් ලබාදීමට වුව ද හැකියාව ඇති බව ද කීවේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මෙවැන්නක් කළා නම් සුදු වෑන් එකක් ඒමට තිබූ බවත් කීවේය.

එහෙත් අපි ඔහු වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබා දීම ගැන අවධානය යොමු කරන බවත්, ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.