කපුවා කපෝති

තම පියාට වැලඳී ඇති මානසික රෝගයක් සුව කිරීම සඳහා තමා සමඟ ලිංගිකව එක්විය යුතු බව පවසා දියණියන් දෙදෙනකු දූෂණය කළ බව කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය පරීක්ෂණ පවත්වන බව කියන පුවතක් අප වාර්තා කළේය.

කපුවෝද වර්ග රැසක් සිටිති. සමහර කපුවෝ යන්ත්‍ර - මන්ත්‍ර, ගුරුකම් කරති. සමහරු මඟුල් කපුකම් කරති.

අතුරුගිරිය පැත්තේ එවැනි මඟුල් කපුකම් කරන පුද්ගලයකු පළාතේ තරුණියකට මඟුල් කපුකමක් කළේය. මනාලයා කොට්ටාව පැත්තේ තරුණයෙකි.

මේක හරි ගියොත් මට කීයක් දෙනවද?' කපුවා තරුණයාගෙන් විමසුවේය.
මම දෙනවා රුපියල් 5,000ක්. හැබැයි ගෑනු ළමයා ලස්සන වෙන්න ඕනෑ.

හරි... හරි... මං වැඩේ තිතට කරන්නම්.
ඒ අනුව තරුණයා සමඟ කපුවා කොට්ටාවට ගියේය.

'ඇත්ත වශයෙන්ම තරුණිය ලස්සනය?'

හරි මං කැමතියි මෙයාට කී තරුණයා කපුවාට රුපියල් 5,000ක් දුන්නේය.

ඊට පසු අර තරුණයා තරුණිය සමඟ විවාහ විය. තරුණිය කිහිප දෙනකු සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බව තරුණයාට ප්‍රථම රැයේදීම වැටහිණි.

ඔහු පසුදින මඟුල් කපුවා හමුවිය.

තමුසෙ මට ජෝඩු කළේ බඩුවක්නෙ.

අද කාලේ නොඉඳුල් බඩු හොයන්න අමාරුයි මහත්තයා. ඔන්න ඔහේ ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑ.

ගාල්ලට කිට්ටුවද කපුවෙක් සිටියේය. ඔහු මඟුල් කපුවෙක් නොවේ. යන්ත්‍ර - මන්ත්‍ර, ගුරුකම් කරන කපුවෙකි.

ධනවත් පවුලක අලුත විවාහ වූ කාන්තාවකට වැලඳුණු රෝගයක් සුව කිරීමට කපුවකු කැඳවන ලදී.

'මා මේ ලෙඩා සුව කරන්නම්. හැබැයි දවස් හතක් යාගය කරන්න ඕනෑ' ඔහු කීය.

'හරි... හරි ඒකට කමක් නෑ. සති, දෙකක් වුණත් කමක් නෑ. අපට ඕනෑ මේ ලෙඩා සුව කර ගන්න' පවුලේ අය කීහ.

ඒ අනුව කපුවා යාතිකා කරන්නට පටන් ගත්තේය. දින දෙක තුනක් ගත විය.

ගෙදර අය දවසක් අවදි වී බලන විට කපුවාත් ලෙඩ තරුණියත් නැත. ලෙඩා කපුවා සමඟ පැනගොස්ය.

යන්තම් ඇති. ඇඟට ලේ ඉනුවා. මටත් ඕන වෙලා තිබුණේ ඔය යස්සනිගෙන් බේරෙන්න. සැමියා හිත හදා ගත්තේය.

හෝමාගම පැත්තේ ධනවත් පවුලක තරුණියකට මඟුල් කපුවෙක් තරුණයෙක් ගෙන ආවේය.
දාහකින් හොයා ගන්න බෑ. අරක්කු බොන්නෙ නෑ. සිගරැට් නෑ. කිසිම නරක වැඩක් කරන්නෙ නෑ.
මරු අනේ.
කපුවාගේ රෙකමදාරුව අනුව මඟුල සිදුවිය.
දින දෙක තුනකට පසු පොලිසියෙන් ගෙදරට ආවේය.
පොලිස් ජීප් එකේ අර තරුණයාද සිටියේය.

'මෙන්න ඔයාලගේ බෑනා. හන්දියේ ගණිකා මඩමක ඉඳල අල්ල ගත්තෙ' යැයි පොලිස් රාලහාමි පැවැසීය. ගෙදර අයට තරු විසි විය.

ගාල්ල පැත්තේ අසනීප වූ තරුණියක් සිටී. ඇයට යාගයක් කිරීම සඳහා තරුණ කපුවෙක් පැමිණියේය.

'මේ ළමය සනීප කරන්න පුළුවන්. හැබැයි මට රුපියල් 10,000ක් දෙන්න' ඔහු කීය.
ධනවත් පවුලක් නිසා එයට ගෙදර අය කැමැති වූහ.

දින දෙකක් යාගය කළ කපුවා තුන් වැනි දවසේ අතුරුදන් විය. ඒ අර තරුණියද කැටිවය.