ගෝඨාභය ඇතුළු 8 දෙනෙකුට නොතීසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට සැප්තැම්බර් මස 30වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

නීති විරෝධී ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාම සඳහා අනුමැතිය ලබාදීම ඇතුළු චෝදනාවන්ට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකු රජයට රුපියල් බිලියන 11.4ට වැඩි අලාභයක් සිදුකර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

අදාළ නඩුව අද(01)කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙම සැකකරුවන්ට අදාළ චෝදනා පත්‍ර බාරදෙන ලෙස නියෝග කරන ලදී.

2012 වසරේ සිට 2015 වසර දක්වා වු කාල සීමාව තුළ ඇවන්ගාඩ් නමැති පෞද්ගලික සමාගමකට පාවෙන අවි ගබඩාවක් පත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4ට අධික පාඩුවක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.

මෙය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ දඞුවම් ලැබිය හැකි වරදක් බව අල්ලස් කොමිසම පෙන්වා දී ඇත.

ඒ අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක,හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ,හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා,
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති හා හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් කරුණාරත්න එගොඩවෙල,ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති,ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන සුජාතා දමයන්ති ජයරත්න මිය යන අයට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.