එජාපයට 70 පිරෙයි

එක්සත් ජාතික පක්ෂයට අදට වසර 70ක් සපිරෙයි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, ඇතුළු සියලු ජාතීන්ගේ සහභාගිත්වයෙන් මෙරට දැවැන්ත පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බිහිවූයේ 1946 සැප්තැම්බර් මස 6දාය.

එජාප 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද ඊයේ (5දා) දහවල 70 නමක් මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පිරිනමනු ලැබීය.

හැත්තෑව සමරන අද දිනයේ එජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වෙන අතර අද සවස එජාප මැති ඇමැතිවරුන් හා සුබපතන්නන්ගේ සුහද හමුවක් වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙයි.

හෙට සහ අනිද්දා හින්දු සහ ඉස්ලාමික වැඩසටහන් හා ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර 70 වැනි සංවත්සර සැමරුම් රැලිය මේ මස 10දා පෙරවරු 9ට බොරැල්ල කැම්බල් පිටියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි වෙයි.