ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති සිවුවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ ඕවර 19ක් ඉතිරි කරගෙන කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගමාලාවද 3 – 1කින් ජය ගත්තේය. ශ්‍රී ලංකාව ලකුණු 212කට දැවී ගිය අතර ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 217ක් රැස් කළේය.

ජෝජ් බේලි හතරේ පහර 11ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 85කින් ලකුණු 90ක් ලබා ගත්තේය. ලකුණු 45කට කඩුලු 6ක් ලබා ගත් ජෝන් හැස්ටින්ග්ස් ‘තරගයේ වීරයා’ විය.

ලකුණු හඹා යාමේ ඉනිමේදී තිසර පෙරේරා යැවූ පළමු ඕවරය නොඉඳුල් එකක් විය. එතැන් සිට15 වැනි ඕවරය තෙක් ඔස්ට්‍රේලියාව ලකුණු ලබා ගත්තේ ‘කැන්ගරු’ වේගයකිනි. ඩේවිඩ් වෝනර් හා ඒරන් ෆින්ච් පිතිකරුවෝ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක් ඕවර 5යි පන්දු 3ක් ඇතුළත රැස් කළහ.

පළමු ඕවර 5 අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 68ක් ලබා ගෙන සිටි ඔස්ට්‍රේලියාව ඕවර 10ක් අවසන් වන විට කඩුලු 3ක් අහිමි කරගෙන ලකුණු 109ක් රැස්කර ගෙන සිටියේය. මේ කඩුලු තුන ම ලබා ගත්තේ වමතින් දඟ පන්දු යවන සචිත් පතිරණ ය.

මුළු ලකුණු ප්‍රමාණය 74ක්ව තිබියදී හය වැනි ඕවරයේ ෆින්ච් පළමු කඩුල්ල ලෙසින්ද, උස්මාන් කවාජා (0) දෙවැනි කඩුල්ල ලෙසින්ද දැවී ගියහ. මේ දෙදෙනාම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් එල්ල කරමින් වේගවත් පිතිහරඹයක් දියත් කළ ෆින්ච් ලකුණු 55ක් රැස් කළේ පන්දු 19කට පමණක් මුහුණ දෙමිනි. ෆින්ච් ඔහුගේ අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 18කිනි. එය එක්දින තරගයකදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තාවූ වේගවත්ම අර්ධ ශතකයයි. අට වැනි ඕවරයේ පළමු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නායක වෝනර් ලකුණු 19කට දැවී ගියේය. ඒ, පන්දු 16කිනි. හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබිණි.

ජෝජ් බේලි හා ට්‍රැවිස් හෙඩ් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 21.4ක් ඇතුළත ලකුණු 100ක සබඳතාවක් පිහිටුවූහ. විසිනව වැනි ඕවරයේදී හෙඩ් දවාලමින් එම සබඳතාව අවසන් කළේ ඩිල්රුවන් පෙරේරා ය. එම කඩුල්ල බිඳ වැටුනේද කඩුල්ල මුවා කිරීමේ වරදිනි. හතරේ පහර 2ක් එල්ල කළ හෙඩ් පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 40ක් ලබා ගත්තේය.

තිස්එක් වැනි ඕවරයේ ඩිල්රුවන්ගේ අවසාන පන්දුවට මැතිව් වේඩ් ‘ලෝන්ග් ඕන්’ ස්ථානයට ඉහළින් එල්ල කළ හයේ පහරත් සමග ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය ස්ථිර විය. පතිරණ ලකුණු 37කට කඩුලු 3ක් ලබා ගත්තේය. ලකුණු 212ක ශ්‍රී ලංකා ඉනිම ධනංජය ද සිල්වා හා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ දිරිය පිතිකරණය පමණක් කැපී පෙනුණු එකක් විය.

ධනංජය ලකුණු 76ක් රැස් කළ අතර මැතිව්ස් ලකුණු 40ක් ලබා ගත්තේය. ජෝන් හැස්ටින්ග්ස් කඩුලු 6ක් ලබා ගැනීමට සමත් විය. සචිත් පතිරණ හා ඇන්ජලෝ පෙරේරා මේ තරගමාලාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර තිබිණි. මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජලෝ, කුසල් ජනිත්, තිසර හා ඩිල්රුවන් ලෙසින් පෙරේරලා හතර දෙනෙකුගෙන් සමන්විතව තිබිණි.

තෙවැනි තරගයට ක්‍රීඩා කළ දනුෂ්ක ගුණතිලක හා සීකුගේ ප්‍රසන්න ඊයේ සිවුවැනි තරගය සඳහා වූ කණ්ඩායමෙන් ඉවත් කර තිබිණි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු නමැති 18 හැවිරිදි පිතිකරුවෙකු කැඳවා තිබිණි. ඊයේ තරගය අවිශ්කගේ ප්‍රථම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය පමණක් නොව ඕනෑම ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවක ඔහුගේ පළමුවැන්න විය. ‘ඒ’ ලැයිස්තුවේ තමන්ගේ මංගල ක්‍රිකට් තරගය ජාත්‍යන්තර එක්දින තරගයකින් ආරම්භ කළ අනෙක් එක ම ශ්‍රී ලාංකිකයා වන්නේ දඟ පන්දු යවන අකිල ධනංජය යි. ඒ, 2012 වසරේ නවසීලන්තයට එරෙහිවය.

ඔස්ට්‍රේලියාව ජොෂ් හේස්ල්වුඩ් වෙනුවට ඔවුන් වේග පන්දු යවන ස්කොට් බොලන්ඩ් ට කණ්ඩායම දොරටු විවර කර තිබිණි.

නැවත වතාවක් කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් තරගයේ පළමු ඕවර නවය ඇතුළත ලකුණු 31කට බිඳ වැටිනි. ධනංජය ද සිල්වා සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු තරගයේ සිවුවැනි පන්දුවට කඩුල්ල මුවා කරමින් බින්දුවට දැවී ගියේය. එම කඩුල්ල ලබා ගත්තේ, සුපුරුදු පරිදි තම පළමු ඕවරයෙන්ම කඩුල්ලක් ලබා ගන්නා මිචල් ස්ටාක් ය.

ඉන්පසුව, හය වැනි ඕවරයේ මුළු ලකුණු 18දීත්, නව වැනි ඕවරයේ මුළු ලකුණු 31දීත් කඩුලු දෙකක් බිඳ වැටෙමින් කුසල් මෙන්ඩිස් (1) හා දිනේෂ් චන්දිමාල් දැවී ගියහ. පෙර තරගයේ ලකුණු 102ක් වාර්තා කළ චන්දිමාල් ට ඊයේ රැස්කර ගත හැකිවූයේ ලකුණු 5ක් පමණි. කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ඔස්ට්‍රේලියානුවන් ලබා ගත්තේ තෙවැනි විනිසුරුගෙනි. ධනංජය ද සිල්වා හා නායක ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට එක්ව මුළු ලකුණු ප්‍රමාණය 115 දක්වා ඉහළ නංවමින් සිටියදී මැතිව්ස් දකුණු පාදයේ කෙණ්ඩයේ ආබාධයකට ලක්ව නොන්ඩි ගසමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විට යැවෙමින් තිබුනේ තරගයේ 27 වැනි ඕවරයේ පළමු පන්දුවයි. මැතිව්ස් කඩුල්ලට පැමිණ මුහුණ දුන් සිවුවැනි ඕවරයේ බොලන්ඩ් එවූ පන්දුවක්, බෙල්ල ආරක්ෂා කීරීම පිණිස හිස ආවරණයේ පහළ සවිකර තිබෙන පටියේ වැදුනු අතර එය ඉවතට වීසිවිනි.

මැතිව්ස් තරග බිමෙන් ඉවත්ව යන විට හතරේ පහර 2ක් සමග ලකුණු පන්දු 58කින් ලකුණු 28ක් ලබා ගෙන සිටියේය. ඉන්පසුව කඩුල්ලට පැමිණි ඇන්ජලෝ පෙරේරා ලබා ගත්තේ ලකුණු 7ක් පමණි. ඊට පෙර, ධනංජය ද සිල්වා, හැස්ටින්ග්ස්ගේ පන්දුවට ෆින්ච් වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 121දී දැවී ගියේය. පන්දු 87කට මුහුණ දුන් ධනංජය හතරේ පහර 9ක්ද එල්ල කරමින් ලකුණු 76ක් රැස් කළේය.

තිස් හතර වැනි ඕවරයේ මුළු ලකුණු 134දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 6කට දැවී ගියේ ‘කවර්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. පන්දු යවන්නා වූයේ ට්‍රැවිස් හෙඩ් ය. තිසර පෙරේරා හා සචිත් පතිරණ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 8.4ක් ඇතුළත ලකුණු 31ක් එක් කරමින් සිටියදී තිසර (13) අනුවණ අයුරින් උඩ පන්දුවක් ‘කවර්’හි ෆින්ච් අතට ලබා දෙමින් දැවී ගියේය.

ඩිල්රුවන් පෙරේරා පන්දු 21කින් ලකුණු 18ක් ලබා ගෙන මුළු ලකුණු 199දී දැවී යාමෙන් පසුව කකුල අද්දමින් මැතිව්ස් යළි පිතිකරණයට පිවිසියේය. ඔහු ඉතාමත් අමාරුවෙන් කඩුලු අතර දිව යමින් කළ ක්‍රීඩාව හැඟීම්බර එකක් විය. මැතිව්ස්ගේ ආගමණයේදී ඔහු හතරේ පහර දෙකක් එල්ල කළේය. ඒ සෑම අවස්ථාවකම නරඹන්නෝ ඔවුන්ගේ අසුන්වලින් නැගිට මැතිව්ස් ට ‘චියර්’ කළහ. ඔහු, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවට (හැස්ටින්ග්ස්ගේ) ‘බැක්වර්ඩ් පොයින්ට්’හි ජෝජ් බේලි අතට උඩ පන්දුවක් ලබා දීමත් සමග ලකුණු 212කට ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.