27603 කට සරසවි වරම්

නව අධ්‍යයන වර්ෂය සඳහා (2015/2016) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (20 වැනිදා) නිකුත් කරන ලදී.

මෙතෙක්‌ ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාවට ඇතුළත් වීමේ දිස්‌ත්‍රික්‌ ඉසෙඩ් ලකුණු නිකුත් කළද මෙවර ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාව පවතින විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ඉසඩ් ලකුණු නිකුත් කර තිබීම විශේෂත්වයකි. මෙම නව ක්‍රමය අනුව තමන් තේරී පත්ව ඇති විශ්වවිද්‍යාලය පහසුවෙන් දැන ගත හැකි වේ.

පසුගිය අධ්‍යයන වර්ෂයට සාපේක්‍ෂව මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට දහයකින් ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුහු 26541 ක්‌ ද විශේෂ හා අතිරේක ප්‍රවේශය යටතේ සිසුහු 1062 ක්‌ ද වශයෙන් සිසුහු 27603 දෙනෙක්‌ මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනෙති.

උසස්‌ පෙළට අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් දොළොස්‌ දහසක පමණ පිරිසකගෙන් තාක්‍ෂණ පීඨ සඳහා සිසුහු 1825 දෙනකු මෙවර ඇතුළත් කර ගැනෙන අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ තාක්‍ෂණ පීඨය මෙවර ආරම්භ නොකෙරෙන අතර එම පීඨයට ඇතුළත් කිරීමට නියමිතව සිටි සිසුහු 150 දෙනා වෙනත් විශ්වවිද්‍යාලවල තාක්‍ෂණ පීඨවලට ඇතුළත් කෙරෙති. ඉංජිනේරු තාක්‍ෂණවේදය, ජෛව පද්ධති තාක්‍ෂණවේදය, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය, භෞතීය විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය, සාගර සහ මිරිදිය විද්‍යාව, ආහාර ව්‍යාපාර කළමනාකරණය සහ ඉංග්‍රීසි දෙවැනි භාෂාවක්‌ ලෙස ඉගැන්වීම යන නව පාඨමාලා මෙවර හඳුන්වා දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ අලුතින් ආරම්භ කරන ලද ඉංජිනේරු පීඨය සඳහා සිසුහු 150 ක්‌ බඳවා ගැනෙති.

සියලුම පාඨමාලා සඳහා එකිනෙකට අනන්‍ය වූ කේතයක්‌ (මබස-ජදාe) ලබාදී තිබේ. මෙම අධ්‍යයන වර්ෂයේ සිට සිසුන් තෝරාගැනීම සඳහා සලකා බැලෙන්නේ එම කේතයන් හා සිසුන්ගේ කැමැත්තය.

මෙම කරුණු අනාවරණය වූයේ අවම ඉසඩ් ලකුණු නිකුත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, උප සභාපති මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න හා ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර යන මහත්වරු ඇතුළු පිරිසක්‌ ඊට සහභාගි වූහ.