හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් 2016

හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් 2016 සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත් "හෝ ගාන පොකුණ" චිත්‍රපටය තවත් සම්මාන 4ක් හිමිකර ගත්තේය.

එසේම පෙරේදා (11දා) රාත්‍රියේදී ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක විචිත්‍රත්වය විදහාපාමින් "නෙලුම් පොකුණ" රඟහලේදී පැවැති රන් සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවාට සහ ජනප්‍රියම නිළියට හිමි සම්මාන දෙකම ප්‍රවේගය චිත්‍රපටයට හිමිවීමද ජනප්‍රියම ළමා නිළියට හිමි සම්මානය "හෝගාන පොකුණ" චිත්‍රපටයට හිමිවීමද විශේෂත්වයකි.

ජනප්‍රියම නළුවා වූයේ "ප්‍රවේගය" චිත්‍රපටයේ හේමාල් රණසිංහය. එම චිත්‍රපටයේම උදාරි පෙරේරා ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමිකර ගත්තාය. "හෝගාන පොකුණ" චිත්‍රපටයේ ත්‍රීක්ෂියා කුමාරතුංග ජනප්‍රියම ළමා නිළිය ලෙස රන් සම්මාන ලැබුවාය.

එසේම 'තණ්හා රති රඟා" චිත්‍රපටය රන් සම්මාන පහක් හිමිකර ගත් අතර "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයද රන් සම්මාන පහක් හිමිකර ගැනීමට සමත්විය.
මෙවර රන් සම්මාන පිදීම සඳහා 2014 - 2015 දෙවසර තුළ මෙරට තිරගත වූ චිත්‍රපට 40ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා දෙස් - විදෙස් විශේෂ ජූරියක විනිශ්චත්වය යටතේ කලාත්මක, ජනප්‍රිය සහ විශේෂ ඇගැයීම් සම්මාන 40කට අධික සම්මාන ප්‍රදානයක් පිරිනැමිණි.

ජනප්‍රිය බොලිවුඩ් තාරකාවන් වන මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි කපූර්, කරිෂ්මා කපූර්, ජැකී ෂෙරෝෆ්, නීල් නිතින් මුකේෂ්, සුනිල් ෂෙට්ටි, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සම්මාන උළෙල විචිත්‍රවත් කළ අතර මෙහිදී ශ්‍රීදේවි කපූර් සහ බොනී කපූර් දෙපළද රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජනප්‍රියම චිත්‍රපටය "මහරජ ගැමුණු" හොඳම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය ලෙස "ඔබ නැතුව ඔබ එක්ක" වෙනුවෙන් ප්‍රසන්න විතානගේද සම්මාන ලැබීය.

එමෙන්ම නැඟී එන නිළියට හිමි සම්මානය "මේ වගේ ආදරයක්" චිත්‍රපටයේ දිනක්‍ෂි ප්‍රියසාද් දිනාගත් අතර නැඟී එන නළුවාට හිමි සම්මානය හේමාල් රණසිංහ දිනා ගත්තේය.

ජූරියේ විශේෂ රන් සම්මානයක් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ජැක්සන් ඇන්තනීට පිරිනැමුණු අතර, ජීවිතයේ එක්වරක් පමණක් ලබන රන් සම්මානය ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියට හිමිවිය.
මෙම සිනමා සම්මාන උළෙල හෙළ සිනමා වංශ කතාවට නව පිටුවක් එක්කළ අතර ලාංකේය කලා ශිල්පීන්ගේ සහ බොලිවුඩ් සිනමා තාරකාවන්ගේ ප්‍රාසාංගික රංගනයන්ගෙන්, නර්තනයන්ගෙන් උළෙල විචිත්‍රවත් විය. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සමඟ දේශීය සිනමා කලා ශිල්ප ශිල්පිනියෝ රැසක් උළෙලට සහභාගි වී සිටියහ.

නන්දන ඩී. කෙහෙල්ගමුව