දැරියකට හදි කළ දෙදෙනා වසර 14කට පසු හිරේ

වසර දාහතරකට පෙර අවුරුදු 14ක පාසල් දැරියක ඇගේ මාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණයට ලක් කළ බවට වරදකරුවන් වූ චුදිතයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එස්. රණවක ගුණතිලක මහත්මිය වසර 17ක හා වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (21) නියම කළාය.

නඩුවේ පළමු චුදිතට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද තුන්වන චුදිතට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළ විනිසුරුතුමිය අතවරයට පත් තැනැත්තියට රුපියල් පනස් දහස බැගින් වූ වන්දි මුදල් ගෙවීමටද චුදිතයන් දෙදෙනාට නියම කළාය.

වැල්ලවායේ පදිංචි රාජවංශ කරුණාධීර හා බුත්තල පදිංචි චාමින්ද ශ්‍රීනාත් යන චුදිතයන්ට එසේ සිරදඬුවම් නියම වුණි.

මෙම නඩුවෙන් අධිචෝදනා ලැබ සිටි දෙවන චුදිත වූ බුත්තල පදිංචි සුනිල් ප්‍රේමරත්න නමැත්තාට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැති බව ප්‍රකාශ කළ විනිසුරුතුමිය ඔහු නිදොස්කොට නිදහස් කිරීමට ඊයේ (21) නියෝග කළාය.

2002/09/26 බුත්තල දී වයස අවුරුදු 14ට අඩු බාලවයස්කාර පාසල් දැරියක් මාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කළ බවට නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.

බුත්තල මහාධිකරණයේ පවරා තිබූ මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය වෙත යොමුකර තිබුණි.

පළමු හා තුන්වන විත්තිකරුවන් හට නගා ඇති අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බව තීරණය කළ විනිසුරුතුමිය විත්තිකරුවන් හට ලිහිල් දඬුවම් ලබාදුනහොත් එය සමාජයට කරන විශාල අගතියක් බව ප්‍රකාශ කළාය.

සිද්ධිය වන වකවානුවේ විත්තිරුවන් වයස අවුරුදු 30ක හා 20ක රැකියාවන්හි නිරත වූ පුද්ගලයන් බව ප්‍රකාශ කළ විනිසුරුතුමිය මෙම දැරිය දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර ඇත්තේ දැරිය දැඩි උණ රෝගයෙන් පෙළෙමින් සිටියදී බවද සඳහන් කළාය.

තවද දැරිය ස්ථාන තුන‍කට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණයට ලක් කර ඇති අතර ඇය බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇති බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවෙන් තහවුරු වන බවද සඳහන් කළාය.

දැරිය සමූහ ලෙස ‍දූෂණයට ලක් කළ තුන්වන ස්ථානයේ වරදට එරෙහිව මෙම විත්තිකරුවනට චෝදනා නගා ඇති බව සඳහන් කළ විනිසුරුතුමිය අන් ස්ථාන දෙකේද දැරිය සමූහ දූෂණයට ලක් කළ විත්තිකරුවනට එරෙහිව ද වෙනම නඩු විභාග පැවැත්වෙන බවද වැඩිදුරටත් සඳහන් කළාය.

වෘත්තියෙන් විදුලි කාර්මිකයන් වන විත්තිකරුවන් දෙදෙනා විවාහ වී ඔවුන්ගේ පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු බැගින් සිටින බවත් දූෂණයට ලක්වූ දැරිය දැන් විවාහ වී දරුවකුද සිටින බවත් පවසා සිටි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යහපත් පුරවැසියන් ලෙස ඉදිරි ජීවිත කාලය ගත කිරීම සඳහා විත්තිකරුවන් හට ලිහිල් දණ්ඩනයක් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

සිද්ධිය සිදුවන විට මෙම දැරිය අවුරුදු 14ක පාසල් යන බාලවයස්කාර දැරියක් බවත් මෙම සිද්ධියෙන් ඇය දැඩි ලෙස කායික හා මානසික පීඩනයකට පත්ව ඇති බවත් පැවසුවේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ චමල්කා සමරසිංහ මහත්මිය සමාජයට ආදර්ශයක් වන ලෙස විත්තිකරුවනට දැඩි දඬුවම් පමුණුවන ලෙසට ඉල්ලා සිටියාය.

විත්තිකරුවනට එසේ සිරදඬුවම් නියම කළ විනිසුරුතුමිය එම දඬුවම ඊයේ (21) සිට වහා ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දුන්නාය.

තවද අගතියට පත් දැරියට විත්තිකරුවන් වන්දි මුදල් නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අය කර ගැනීමට නියෝග කළ විනිසුරුතුමිය එම දඩය නොගෙවන්නේ නම් වසර එක බැගින් වූ තවත් අමතර බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද නියම කළාය.