පෝර්ට්‌සිටි අපේ රටට විශාල හානියක්‌

පරිසර විනාශය, මූල්‍යමය පාඩුව සහ ජාත්‍යන්තර දේශපාලන තුලනය බිඳවැටීම යන සියලු ක්‌ෂේත්‍රවලින් ගත් විට පෝට්‌සිටිය අපේ රටට විශාල හානියක්‌ යෑයි ජනතා විමුක්‌ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22 දා) බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

පෝට්‌ සිටි ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ව්‍යාපෘතියක්‌ ලෙසයි. එවකට විපක්‍ෂනායක වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා, ඔවුන්ගේ පාලන බලයක්‌ තුළදී පෝට්‌සිටි ව්‍යාපෘතිය වහාම නතර කරනවා කියලා. එයට හේතුවන සාධක ගණනාවක්‌ තිබුණා. පෝට්‌ සිටි ව්‍යාපෘතියේ නීතිමය ගැටලු ගණනාවක්‌ තිබුණා. පරිසර ඇගයීම්වලින් පරිසරයට විශාල බලපෑමක්‌ සිදුවන බව කියා තිබුණා. ආර්ථික වශයෙන් රටට අහිතකරයි. ඒවගේම ජාත්‍යන්තර දේශපාලනයට අහිතකරයි. මේ සාධක හේතුකොටගෙන තමයි රනිල් වික්‍රමසිංහ එම ව්‍යාපෘතිය නතර කරනවා කියලා කිව්වේ. ජනතා විමුක්‌ති පෙරමුණේ අපිත් මෙම ව්‍යාපෘතියෙන් සිදුවන අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කළා. මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බවට ආණ්‌ඩුවට බලපෑම් කළා.

පසුව පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව මෙම ව්‍යාපෘතිය නතර කළා. නමුත් ඔවුන් දැන් නැවත එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. නැවත ආරම්භ කිරීමේ දී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කලින් සැලසුම්කර තිබුණු හෝටල්, කැසිනෝ ශාලා, මෝටර් රථ ධාවන පථ ඇතුළු සැණකෙළි නගරය වෙනුවට මූල්‍ය නගරයක්‌ ඉදිකරනවා කියලා. නමුත් මූල්‍ය නගරයක්‌ පිළිබඳව ව්‍යාපෘති වාර්තාවේ කිසිදු සැලසුමක්‌ නැහැ. මේ ඉදිකරන්නේ මූල්‍ය නගරයක්‌ නම් මතුවන ගැටලූව වන්නේ මූල්‍ය නගරයක්‌ සඳහා මුහුද ගොඩකළ යුතුද යන්නයි. මූල්‍ය නගරයක්‌ වෙරළ ආසන්නයේ තිබිය යුතුද ? සැණකෙළි නගරයක්‌ ඉදිකරනවා නම් වෙරළ ආශ්‍රිතව ඉදි කිරීම යම් සාධාරණයක්‌ තිබෙනවා. අනෙක්‌ කරුණ වන්නේ මීට පෙර ගොඩකරන ඉඩම චීනයට පවරා දීමට නියමිතව තිබීමයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව යටතේ එය ලබා දෙන්නේ 99 අවුරුදු බදු යටතේ. එසේ නම් 2115 දක්‌වා මෙම ඉඩම චීනයට භාවිත කරන්න පුළුවන්. ඒ වන විට ඉඩම පවරා දෙන පුද්ගලයන් හෝ පවරා ගනු ලබන පුද්ගලයන් ජීවත් වෙන්නේත් නැහැ. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ යොදා ගන්නේ සැණකෙළි නගරය, වෙළඳ නගරයක්‌ කිරීම සහ ඉඩම් අයිතිය 99 අවුරුදු බදු ලෙස වෙනස්‌ කිරීම යන කරුණු දෙකයි. මෙයින් පෙනෙන්නේ එදා රනිල් වික්‍රමසිංහ ඇත්ත කරුණු සඟවාගෙන සිටි බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා කළු ගල් ඝන මීටර් මිලියන 3.4ක්‌ අවශ්‍ය බව ගණන් බලා තිබෙනවා. එම කළු ගල් ප්‍රමාණය කඩුවෙල, හංවැල්ල, දෙල්ගොඩ, පාදුක්‌ක, දිවුලපිටිය යන ප්‍රදේශවල ගල්වලවල් 11 කින් ලබාගැනීමට නියමිතයි. නමුත් මෙම ව්‍යාපෘතියට ලබාගත් විශේෂ පරිසර ඇගයීම් වාර්තාවේ ගල් වළවල් සම්බන්ධයෙන් පරිසර ඇගයීමක්‌ සිදුකර නැහැ. මෙම ගල් වලවල් සාමාන්‍ය ආකාරයෙන් ගල් ලබා ගන්නා සAථානයි. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වෙන්නේ විශාල ගල් කුට්‌ටි නිසා ඉතා වේගයෙන් හෑරීමක්‌ සිදුකරන්න සිදුවෙනවා. ඒ වගේම බෝර දැමීමෙන් ඉතා ගැඹුරට හාරන්න සිදුවෙනවා. එම නිසා භූගත ජලයට අවට කඳුකර ප්‍රදේශවලට වගේම ප්‍රදේශවාසී ජනතාවට සිදුවන හානිය අතිවිශාලයි. එම ප්‍රදේශවල ජනතාවට විශාල වන්දියක්‌ ගෙවීමට සිදුවෙනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ඝන මීටර් ලක්‍ෂ 650ක්‌ අවශ්‍ය බව ගණන් බලා තිබෙනවා. මෙම වැලි ප්‍රමාණය ඉතාම කෙටි කාලයකින් ලබාගන්න නියමිතයි. මුහුද ගොඩකිරීම නිසා එම මුහුදු කලාපයට විශාල හානියක්‌ සිදුවෙනවා. මෙම ගොඩකරන භූමි ප්‍රමාණය අක්‌කර 675ක්‌ වන අතර එම භූමි ප්‍රමාණය ලබාගැනීම සඳහා අක්‌කර 2200 ක පාදමක්‌ ගොඩකිරීමට සිදුවෙනවා. වැලි ලබාගැනීම සඳහා යොදා ගන්නේ මීගමුව කළපුව ආශ්‍රිත මුහුදු කලාපය වන අතර එම ප්‍රදේශයත් දැඩි හානියකට පත්වෙනවා. ඒ වගේම වැලි ලබාගන්නා ප්‍රදේශයේ සිට ගොඩකරන කලාපයට වැලි ප්‍රවාහනයේදී තවත් විශාල ප්‍රදේශයක පරිසර හානිය සිදුවෙනවා. ගොඩකරන කලාපයත් වැලි ලබාගන්නා කලාපයත් ප්‍රවාහනයට යොදාගන්නා කලාපයත් අතර අතිරේක ප්‍රේරක කලාපයකුත් මේ නිසා හානියට පත්වෙනවා. ඒ අනුව ගත්තාම අපේ රටේ විශාල මුහුදු කලාපයක්‌ බරපතළ විනාශයකට මුහුණ දෙනවා.

වැලි ලබාගැනීමට නියමිත මීගමුව මුහුදු කලාපයේ තිබෙන වැලි ප්‍රමාණය ඝන මීටර් ලක්‍ෂ 1200ක්‌ බව ගණන් බලා තිබෙන අතර මෙයින් හරි අඩක්‌ම වැලි ලබාගැනීමට නියමිතයි. එම මුහුදු පතුලේ වැලිවලින් 50% ක්‌ම ඉවත් කිරීම නිසා නැවත යථාතත්ත්aවයට පත්වීමට විශාල කාලයක්‌ ගතවෙනවා. මෙම ඉවත්කරන වැලි ප්‍රමාණය නැවත පිරවීමට කැළණිය මෝය හරහා කැළණි ගඟෙන් මුහුදට ඇතුල්වන වැලි ප්‍රයෝජනවත් වෙනවා. නමුත් වර්තමානයේ කැළණි ගඟ හරහා මුහුදට එක්‌වන වැලි ප්‍රමාණය අඩු නිසා ලබාගන්නා වැලි ප්‍රමාණය නැවත පිරවීමට ඉතා දීර්ඝ කාලයක්‌ ගතවෙනවා. එම මුහුදු කලාපය ස්‌ථායි වීමට විශාල කාලයක්‌ ගතවීම නිසා මීගමු මුහුදු කලපුව දැඩි බලපෑමකට ලක්‌වෙනවා. මීගමුව කලපුවේ ධීවර රැකියාවට විශාල බලපෑමක්‌ සිදුවෙනවා. එමෙන්ම එම කලාපයෙන් වැලි ලබාගැනීමේදී අවට ප්‍රදේශයේ රොන් මඩ විසිරීම මඟින් ඒ අවට ගල්පර, කොරල් පර මත ඒවා තැන්පත් වීම නිසා මුහුදු පැලෑටිවලට, ඒ ආශ්‍රිතව ජීවත්වන විසිතුරු මසුන්ට විශාල බලපෑමක්‌ සිදුවෙනවා.