දුම්රියට එල්ල වූ ගල් පහරකින් පුද්ගලයෙකු මරුට

දුම්රියේ ගමන් කරද්දී එල්ලවූ ගල් ප‍්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගතව සිටි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ඊයේ රාත‍්‍රීයේ මරණයපත්ව තිබෙනවා. රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පසුගිය 03 වැනිදා ඔහුට ගල් ප‍්‍රහාරය එල්ල වී තිබුණා.

ගල් ප‍්‍රහාරය වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ කේ.එල්.පුෂ්පකුමාර නමැති උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. 49 හැවිරිදි ඔහු තිදරු පියෙක්. රාජකාරි කටයුත්තක් සඳහා පසුගිය 3 වැනිදා ඔහු කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වූ නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී ගල් ප‍්‍රහාරය එල්ල වුණා.

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පිටතින් එල්ල වූ ගල් ප‍්‍රහාරයක් වැදීමෙන් ඔහු බරපතල තුවාල ලැබූ අතර දුම්රිය නියාමකවරයා ඇතුලූ කාර්ය මණ්ඩලය රාගම රෝහලට ඇතුල් කිරීමට උත්සාහ කළ ද ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වීමෙන් අනතුරුව ඔහු අනුරාධපුර රෝහලට රැුගෙන යමින් සිටියදී සිහිසුන් වූ බවයි වාර්තා වන්නේ.

එතැන් සිට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව සිටි අතර ඔහු ඊයේ රාත‍්‍රීයේ මරණයට පත්වුණා. කෙසේ වෙතත් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ ගල් ප‍්‍රහාරය එල්ල වූ මොහොතේ ඔහු රෝහල් ගත කළේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝදුරට ඉඩ තිබූ බවයි.

ගල් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හඳුනාගැනීමට හැකි වී නැහැ.