අරක්කු පෙරූ ඉංජිනේරුවා අත්අඩංගුවට

කඳාන පොලිස් බලප්‍රදේශයේ කලඑළිය ප්‍රදේශයේ නවීන තාක්ෂණය ආධාරයෙන් නීති විරෝධී අරක්කු භාවිත කර විදේශීය අරක්කු නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ විමර්ශ ඒකකය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය 28 දා කටයුතු කර තිබුණි.

මීට මාස කීපයකට පෙර අංක 57/2, දෙවන පටුමග කලඑළිය, ජා-ඇළ පිහිටි සුපිරි නිවස කුලියට ගෙන තිබූ මෙම සිවිල් ඉංජිනේරුවා කූලර් රේඩියේටර් මැෂින් භාවිතා කර විදේශීය ප්‍රසිද්ධ මත්පැන් බෝතල් මිලට නීති විරෝධී මත්පැන් සූක්ෂම ලෙස පාටකර පුරවා දේශිය වෙළෙඳ පොළට අලෙවි කිරීමේ ජාවාරමක නියැළී සිට ඇත. 


කඳාන විශේෂ පොලිස් කාර්යාංශය හා පෑලියගොඩ පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබුණි. මත්පැන් සුවඳ පිටතට නොයන ලෙස ඩීසල් හා කපුරු භාවිතා කර තිබූ අයුරු දැක පොලිසිය ද පුදුමයට පත්වී ඇත. මේ මත්පැන් මිල වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වෙතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මත්පැන් පෙරීමට ගත් උපකරණ ආදිය සමඟ සැකකරු වත්තල ‍මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබූ අතර, මේ වැටලීම කොට්ඨාස භාර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර මහතා හා පෑලියගොඩ ‍වි‍ශේෂ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න මහතා ඇතුළු නිලධාරින් සිදුකර තිබුණි.