දරු ප්‍රසූතියේදී සැමියා වින්නඹුකම් කොට බිරිය මැරිලා !

සිය බිරියගේ දරු ප්‍රසූතියේදී සැමියා විසින් දරුවාගේ පෙකෙණිවැල කතුරකින් කැපීමෙන් දින අටකට පසු බිරිය මියයෑමේ පුවතක් කල්පිටිය පූලච්චේන ගමෙන් වාර්තා වේ. පසුගිය 27 දින මෙසේ මිය ගොස් ඇත්තේ අබ්දුල් වාහීද් සිත්ති රවුලා නම් 36 හැවිරිදි සිවු දරු මවකි.

එම කාන්තාව පිරිමි දරුවකු ප්‍රසූත කොට ඇති අතර දරුවාගේ පෙකෙණිවැල පියා විසින් කතුරකින් කපා ඇතැයි පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී. ගුණරත්න මහතා පවසයි.


දරු ප්‍රසූතියෙන් පසුවද මව සහ දරුවා කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු කර නැති අතර මේ කාන්තාව, ගැබිනි සමයේදී කිසිදු වෛද්‍ය සායනයකටද සහභාගි වී නැති බැව් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ කාන්තාවගේ වැඩිමහල් දරුවා වන 15 හැවිරිදි දැරියක, නව හැවිරිදි පුතකු සහ තුන් හැවිරිදි දියණියක ප්‍රසූත කිරීමේදී ද වින්නඹුකම් කොට ඇත්තේ මේ සැමියා විසින්මය. එසේම එම කිසිදු දරු ප්‍රසූතියකදී ද ගැබිනි සායනයන්ට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නොමැති බැව් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මෘත දේහය කුරුණෑගල රෝහලට යොමු කර ඇත. කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.