රාජ්‍ය ආයතන 113ක්‌ බත්තරමුල්ලට

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 113 ක්‌ පියවරෙන් පියවර බත්තරමුල්ල පෙදෙසේ ස්‌ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊළඟ වසර තුළ රටේ එකම පරිපාලන නගරය බවට පත්වන්නේ බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කලාපය බවත් මහ නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික මහතා ප්‍රකාශ කළේය.

තවද කොළඹ තවදුරටත් ශ්‍රී ලංකාවේ අගනගරය හැටියට තබාගෙන දෙවැනි අගනගර තුනක්‌ ඒ වටා ඉදිකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේ රුපියල් මිලියන 213 ක වියදමින් කඩුවෙල නව සති පොළ හා අතිරේක බස්‌ නැවතුම් පොළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් එම භූමියේදී පැවැති උත්සවය හමුවේ කෙටි දේශනයක්‌ පවත්වමිනි.

කඩුවෙල සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, සුජීව සේනසිංහ, කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායක ප්‍රියන්ත පත්බේරිය, කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ යන මහත්වරු හා කඩුවෙල නාගරික කොමසාරිස්‌ ලේඛා ගීතාංජලී මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වය ඇතිව අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

අද කොළඹ කියන්නේ තවදුරටත් ජනතාව පදිංචි වීමට බලාපොරොත්තු වන නගරයක්‌ නොවන බවද 1991 වසරේ කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ හැටපන් දහසක්‌ බවට ජන සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති අතර 2012 වසර වන විටත් කොළඹ ජනගහනය ගණනය වී ඇත්තේ එම සංඛ්‍යාවම බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් රැස්‌ව සිටි පිරිsස ඇමතූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා-

අද මුළු රටේම නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මහ නගර හා බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයෙන්. නාගරික සංවර්ධන අධිකාරියත් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව රට පුරාම "සුත පුරවර" නමින් ඉදිකරන උප නගර සංවර්ධන ව්‍යාපෘතියක්‌ මෙයට අයිතියි. කොළඹ තවදුරටත් අපේ අගනගරය වශයෙන් තිබියදී කොළඹ වටා කඩුවෙල, හෝමාගම, කැස්‌බෑව, මැතිවරණ කොට්‌ඨාස දෙවැනි අග නගර වශයෙන් සංවර්ධනය කරනවා.

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැති සුජීව සේනසිංහ හා ප්‍රියන්ත පත්බේරිය යන මහත්වරුද රැස්‌ව සිටි පිරිස අමතා කතා කළහ.