චන්දන තිලකරත්න ITN ප්‍රධාන විධායක තනතුරට

ගුවන් විදුලි හා රූපවාහිනී ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත්කර තිබේ.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පළමු විධායක නිලධාරිවරයා ලෙස චන්දන තිලකරත්න මහතා පත්වීම ද විශේෂත්වයකි.ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පළමු විධායක නිලධාරිවරයා ලෙස චන්දන තිලකරත්න මහතා පත්වීම ද විශේෂත්වයකි.


මීට පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරක් නොතිබූ අතර එම බලතල පැවතියේ සභාපතිවරයා සතුවය.

මීට පෙර චන්දන තිලකරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යටතේ ඇති ලක්හඬ ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ලක්හඬ ගුවන් විදුලි ඉතිහාසයේ එම ගුවන්විදුලියට ලැබුණු එකම සුමති සම්මානය දිනාගැනීමට ද තිලකරත්න මහතාට හැකිවිය.

ඒ 2003 වසරේ ඔහු විසින් නිෂ්පාදනය කිරීමට යෙදුණු ‘දියුණුවේ රන් දොරටුව’ වැඩසටහන සඳහාය.

මේ අතර චන්දන තිලකරත්න මහතා මෙරට පෞද්ගලික ගුවන් විදුලි ගණනාවකම සාමාන්‍යාධිකාරි සහ ප්‍රධාන විධායක නිලධාරි තනතුරු ද හෙබවීය.

ඊට අමතරව චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ සිංහල සේවයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
එම කාලය තුළ චීන රජය මගින් විදේශ විශේෂඥ වර්ගිකරණය සඳහා ලබාදෙන ඉහළම ශ්‍රේණියේ විදේශ විශේෂඥවරයකු ලෙස පත්කිරීම ද විශේෂත්වයකි.

චන්දන තිලකරත්න මහතා ජනමාධ්‍ය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවකට අදාළ ‘කතාවෙන් දිනන මග’, පහන් කණුව යට සහ ‘දොඩං හොරා’ වැනි ග්‍රන්ථ කිහිපයක් රචනා කර ඇත.

විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ වසර 30ක පළපුරුද්දක් ඇති ඒ මහතා ඊයේ (06) නව තනතුරේ වැඩ භාරගත්තේය.
රුචිර දිලාන් මධුසංඛ