විමල්ගේ සොයුරා අද අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොයුරු සරත් වීරවංශ මහතා අද දිනයේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස අධිකාරියේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

පසුගිය 12දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඒ මහතාගේ නිවසට ගිය ද ඔහු අසනීප තත්ත්වයෙන් පෙලීම නිසා ආපසු හැරී ආ බව පොලීසිය සඳහන් කරයි.

කෙසේවුවද මේවනවිට ඔහු සුවය ලබා ඇති බැවින්, ඉහත චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (20) දින දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස සරත් වීරවංශ මහතාට දැනුම් දී තිබේ.

පා ගමනට පෙර :

මේ අතර, ඊයේ (19 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ''ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්‌ෂයේ පා ගමනට පෙර තවත් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට සූදානමක්‌ පවතින බවට තොරතුරු ලැබී ඇතැයි '' පැවසිය.

මේ දිනවල විශේෂ විමර්ශන ඒකකය තමාගේ දෙවන නිවාඩුවට අවශ්‍ය ලියකියවිලි සකස්‌ කරන බවටත් තමාට ආරංචි ලැබී තිබෙන බවත් ගම්මන්පිල මහතා කීවේය.

පාගමනින් පසු ලැබෙනවා නම් එය වඩා හොඳ බවත් එමනිසා අගෝස්‌තු 1 වැනිදායින් පසු එම නිවාඩුව ලබාදෙන ලෙස පුංචි ඉල්ලීමක්‌ කරන බවත් ඔහු කීවේය.

දේශපාලනීකරණය වී ඇති ආයතනවලින් යුක්‌තිය බලාපොරොත්තු විය නොහැකි බවත් මේ වැඩ බැරි ආණ්‌ඩුව ඒකාබද්ධ විපක්‍ෂයට, රාජපක්‌ෂවරුන්ට, ජන සටන ව්‍යාපෘතීන්ට මහා භීතිකාවකින් පෙළෙන බව අද පෙනෙන්න තිබෙන බවත් හෙතෙම පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (19 දා) පස්‌වරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.