මුඛ පිළිකා රෝගයෙන් පළමු තැන ලංකාවට

මුඛ පිළිකාවලින් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ. මේ බව අනාවරණය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඇම්. තිලකරත්න මහතාය.

ආසන්නතම වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තාගත මුඛපිළිකා රෝගීන් දෙදහස් හාරසිය විසිදෙකක් සිටින බවද එයින් සියයට හැත්තෑ අටක්ම පුරුෂ පක්‍ෂය බවද තමන්ටම වළක්වාගත හැකි මුඛ පිළිකා රෝගය දැන දැන හෝ නොදැන ඉතා වුවමනාවෙන් බෝකර ගැනීම කනගාටුදායක කරුණක් බවද මහාචාර්යවරයා කීය.

අදට (27දා) යෙදී ඇති හිස සහ ගෙල ආශ්‍රිත ලෝක පිළිකා දිනය නිමිත්තෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (26දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා මෙසේ කීය.


මුඛ පිළිකා රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ වැඩ කරන නිර්ධන පාන්තිකයන් අතර මිස ඉහළ පැලැන්තියේ අය අතර නොවන බවද මහාචාර්යවරයා පැවසීය.
දුම්කොළ සැපීම සහ දුම් ඉරීම නිසා මුඛ පිළිකා ඇති වන බවත් ගැමි ජනතාව මේ පිළිබඳව නොදැනුවත්කමත්, නූගත්කමත් නිසා රෝගය සමාජය ගිලගන්නා බවත් මාධ්‍ය මඟින් මේ ව්‍යසනය මැඬපැවැත්වීමට විශාල මෙහෙයක් කළ හැකි බවත් මහාචාර්යවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කීවේ පුරාණයේ දැහැත් වැලඳීම, බුලත් සැපීම ගැන පොතපතෙහි සඳහන්ව ඇත්තේ ඔෟෂධ වර්ග සහ සුවඳ වර්ග වූ කරදමුංගු, ඉඟුරුපියලි වැනි දේ මිස දුම්කොළ සහ පුවක් ගැන නොවන බවද වර්තමානයේ මහා සංඝරත්නයට වැළඳීමට දෙන දැහැත් වට්ටිය දීර්ඝ කාලීන මරණයක් පිළිගැන්වීම බවද කීය.

මේ හේතුව නිසා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් රාජකාරි කළ සමයේ පුවක් දුම්කොළවලින් තොර ඔෟෂධීය ගුණ පිරි දැහැත් වට්ටියක් පිළියෙල කර මහා සංඝරත්නයට පූජා කළ බවද ඒ අනුව දැහැත් වට්ටිය කාලීනව වෙනස් විය යුතු බවද සංස්කෘතිය සැමදා එක ලෙස පවතින්නක් නොව කාලයට අනුව සංස්කරණය විය යුත්තක් බවද කීය.

මුඛ පිළිකාවේ බරපතළකම අවබෝධ කරගත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත පුවක් ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන බාබුල් වැනි පිළිකාකාරක තහනම් කර ඇතත් මුඛ පිළිකාවෙන් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ලැබූ ශ්‍රී ලංකාව ඒ ගැන තවම සැලකිල්ලක් නොදැක්වීම මවිතයට නොව කනගාටුවට හේතුවක් බවද කීය.

මහරගම ජාතික පිළිකා ආයතනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කනිෂ්ක ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන් හිතාමතා වුවමනාවෙන් බෝකරගන්නා මුඛ පිළිකා වැනි රෝගවලට ප්‍රතිකාර කිරීම කාලය සහ මහජන මුදල් කාබාසිනියා කිරීමක් බවය. මේ හේතුව නිසා වෘත්තීයමය තෘප්තියක් නැතැයිද ඒ පිළිබඳව කලකිරීමක් ඇතැයිද කීය.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මියද, ප්‍රජා විශේෂඥ දන්ත වෛද්‍ය ප්‍රසන්න ජයසේකර සහ වෛද්‍ය කෝසල මුතුකුමාරණ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.