සරත් වීරවංශට රට යෑම තහනම්

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වසර 2009 දී පාර්ලිමේන්තු අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට ලබා දෙන වාහනයක් භාවිත කරමින් රුපියල් ලක්ෂ 84කට ආසන්න මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ රුපියල් ලක්ෂ 16ට ආසන්න මුදලක් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශයෙන් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ සරත් වීරවංශ නැමැත්තාට විදෙස් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (25) තහනම් නියෝගයක් නිකුත් කළාය.

එම තැනැත්තා විදෙස් ගත වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට එම නියෝගය යවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ මූල්‍ය අපාරාධ කොට්ඨාසය ඊයේ (25) අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දුන්නාය.

වසර 2009 දී ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රිවරුන්ට ලබා දුන් වාහන සංචිතයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සොහොයුරකු වන සරත් වීරවංශ නැමැත්තා වාහනයක් ලබා ගෙන භාවිතා කර ඇති බවත්, වසර 2011 දී නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස එම තැනැත්තා පත් වීමක් ලබා ගනිමින් එම අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 16ට ආසන්න මුදලක් එකී වාහනය තමන්ට අයත් වාහනයක් බව ප්‍රකාශ කරමින් එම වාහනයට ඉන්ධන සහ කුලී දීමනා ලෙස ලබා ගෙන ඇති බවත් කොළඹ මූල්‍ය අපාරාධ කොට්ඨාසය ඊයේ (25) අධිකරණයට දැනුම් දුන්නේය.

ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස රාජ්‍ය පත් වීමක් ලබා ගනිමින් වාහන දෙකක් සඳහා මුදල් හා ඉන්ධන ප්‍රතිපාදන ලබා ගෙන ඇති බව අධිකරණයට දැනුම් දුන් කොළඹ මූල්‍ය අපාරාධ කොට්ඨාසය රජයේ නිලධාරියකු භාවිතා කළ හැක්කේ එක් වාහනයක් පමණක් බව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අතර අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ නියමයන්ට අනුව සැකකරුට විදෙස් ගත වීම වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කිහිප වාරයක් උත්සාහ කළ ද සැකකරු විමර්ශනයන්ට සහාය නොදී මගහැර සිටින බවත්, සැකකරු ගෙන්වා ප්‍රකාශයක් ගැනීමට දෙතුන් වතාවක් උත්සාහ කළ බවත් එම අවස්ථාවල සැකකරු අසනීප තත්ත්වයෙන් සිටින බවට දැනුම් දුන් බවත් අධිකරණයට ප්‍රකාශ කළ කොළඹ මූල්‍ය අපාරාධ කොට්ඨාසය මේ වන විට සැකකරු රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලබන බවත් ඊයේ (25) අධීකරණයට දැනුම් දුන්නේය.