බැසිල් විශේෂ සිර මැදිරියක

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරියක රඳවා ඇත.රිමාන්ඩ් බන්ධනාගාරයේ (H) වාට්ටුවේ රඳවා සිටින බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ ආක්ෂාවක් ද ලබාදී තිබේ.

ඊයේ (18) පස්වරු 6.00ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) රාත්‍රී බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාරවේල භුක්ති විඳි බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියයි.

බැසිල් රාජපක්ෂ මහතාට නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් බන්ධනාගාරය මඟින් ලබාදුන් බවත් නිවසින් ආහාර ගෙනඒමට ඔහු විසින් ඉල්ලීමක් කළහොත් ඒ සඳහා බන්ධනාගාර අධිකාරිය අවධානය යොමු කරන බව ද උපුල්දෙණිය පවසයි.

‘දිවි නැඟුම’ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක මහතා ද බැසිල් රාජපක්ෂ මහතා රඳවා ඇති එච් වාට්ටුවේ සිටින අතර, තවත් සාමාන්‍ය රැඳවියන් දෙදෙනකු එම වාට්ටුවේ වෙයි.