නාමල් - ජානකී සබඳතාව එළියට

ක‍්‍රිෂ් ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින විමර්ශන අතරතුරේ දී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා විසින් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ ලබා දී ඇති පාපෝච්චාරණය මඟින් නාමල් රාජපක්ෂ සහ ක‍්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොහොත් ජානකී වරකාගොඩ මහත්මිය අතර වූ සම්බන්ධතා රැසක් ගැන තොරතුරු හෙළිදරව් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානකී සිරිවර්ධන නම් ව්‍යාපාරිකාව පසුගිය රාජපක්ෂ රෙජීමය සමඟ ඉතා සමීපව කටයුතු කළ තැනැත්තියක වන අතර ඉන්දියාවේ මහදේවන් සමාගමේ (ක‍්‍රිෂ් ලංකා සමාගමේ මව් සමාගම) හිමිකරුවන් මෙරට ආයෝජනය සඳහා කැඳවාගෙන පැමිණ තිබුණේ ඇයයි.

මෙරට ව්‍යාපාරික කටයුතු සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා මුලින්ම ගනුදෙනු බේරාගැනීම සිදුව තිබුණු බැවින් සිරිවර්ධන මහත්මිය ඉන්දීය ව්‍යාපාරිකයන්ට මුලින්ම නාමල් රාජපක්ෂව හඳුන්වා දීම සිදු කර ඇත.

නාමල් රාජපක්ෂ රගර් ලෝලියකු වන බැවින් මෙරට රගර් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දීමට හැකි බව සිරිවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි ඉන්දීය ව්‍යාපාරිකයන් පවසා ඇත. ඒ අනුව රුපියල් මිලියන 70 ගනුදෙනුව සිදුව තිබේ.

එම මුදල නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දුන් බැංකු ගිණුම්වල තැන්පත් කරනු ලැබීය. එම බැංකු ගිණුම්වල හිමිකරුවා වූයේ නිමල් පෙරේරා මහතාය. නිමල් පෙරේරා මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ ව්‍යාපාරික සම්බන්ධතා රැසක් ද තිබිණි.

නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් රැසක ලිපිනය ලෙස සඳහන් වන ගවර්ස් ස්ටී‍්‍රට් හි ගොඩනැගිල්ල සහිත ඉඩමේ හිමිකරුවා වන්නේ ද නිමල් පෙරේරා මහතාය. ඔහු එම ඉඩම අත්පත් කර ගත් ආකාරය ගැන ද චෝදනාවක් තිබේ. එම ඉඩමේ වයෝවෘද්ධ හිමිකාරියව ඉඩමෙන් එළවා දමා ඇය මිය ගිය පසු එම ඉඩම මහ භාරකාර දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබේ.

එතැනින් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඉන් පසුව නිමල් පෙරේරා මහතා විසින් රාජපක්ෂවරුන්ගේ සහායෙන් තමන් වෙත හිමි කරගෙන ඇති බවට තොරතුරු ද අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


ක‍්‍රිෂ් සමාගමේ ආයෝජන අවශ්‍යතාව වූයේ හම්බන්තොට වරාය ආසන්නයේ ව්‍යාපෘතියකි. නාමල් රාජපක්ෂ ලවා ඊට රාජපක්ෂ රජයේ අනුමැතිය ලබා ගැනීමේ විශේෂ උත්සාහ ගණනාවක ජානකී සිරිවර්ධන මහත්මිය යෙදී ඇත. කෙසේ නමුත් හම්බන්තොට චීනයේ ආධිපත්‍යයට යටත් නගරයක් බවට පත් වෙමින් තිබීම මත එම අවස්ථාව ක‍්‍රිෂ් සමාගමෙන් ගිලිහී ගිය බව පැවසේ.

පසුව කල්පිටියේ අක්කර තිහක ඉඩමක් ද මිලදී ගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි. මේ වෙනුවෙන් රුපියල් මිලියන 40 ක ගනුදෙනුවක් ද සිදුව තිබිණි. නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම මත එම ඉඩම මිලදී ගැනීමේ සම්බන්ධීකරණයට එවකට සංචාරක මණ්ඩලයේ සභාපතිව සිටි ආචාර්ය නාලක ගොඩහේවා මැදිහත් විය. නමුත් එම ඉඩමේ ඔප්පු නිරවුල් නොවීම සහ එවකට ඉඩම් ඇමැතිව සිටි රාජිත සේනාරත්න මහතා මෙරට ඉඩම් විදේශිකයන්ට සින්නක්කරව විකිණීම තහනම් කිරීමේ නීතියක් පැනවීම නිසා එම ඉඩම සම්බන්ධ අර්බුදයක් ඇති විය.

මේ සටකපට ඉඩම් ගනුදෙනුව සිදු කරනු ලැබුවේ ජානකී සිරිවර්ධන සහ සජින් වාස් ගුණවර්ධන එක්ව බව ද හෙළිව තිබේ. මේ අතර සිදු වූ කොළඹ කොටුව ට‍්‍රාන්ස්වර්ක් චතුරස‍්‍රයේ ඉඩම් ගනුදෙනුව ද මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

මේ අනුව කොමිස් ගනුදෙනු සිදු කළ බවට රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වන විට කල්පිටිය ඉඩම් ගනුදෙනුවෙන් ලබා ගත් මිලියන 40 එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියමය පරිදි ආපසු ගෙවීමට සිදුව තිබිණි.

මේ කෙසේ නමුත් ජානකී සිරිවර්ධන වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලූත අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී ඇමෙරිකාවේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා මෙන්ම ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානි ආදී ප‍්‍රකට ව්‍යාපාරිකයන් රැසක් ලංකාවට රැගෙන එන බව පොරොන්දු වී තිබිණි. ඒ අනුව පසුගිය කාලයේ අම්බානි පැමිණ අගමැතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

- සුභාෂ් ජයවර්ධන