සතොස හිටපු සභාපතිට ඇප

රජයේ මුදල් අවභාවිත කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සතොස හිටපු සභාපති රුවන්ජීව ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හරින ලදී.

සතොස සභාපතිවරයාව සිටි 2015 වසරේ ජනවාරි දෙවැනි දින මොහු විසින් සතොස සහ ලක් සතොස වාහන යොදාගෙන ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සිට ඡන්ද නාමලේඛන ප්‍රවාහනය කර මැක්ලම් පාරේ පිහිටි සතොස ගබඩාවෙහි තබා ජනවාරි තුන්වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල දහතුනක් වෙත ප්‍රවාහනය කරමින් රජයේ මුදල් රුපියල් තිස් අටදහස් අටසියයක් (38,800) වංචා කළ බවට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

සැකකරු පසුගිය 20 වැනි දින කොටුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වැරදිකරු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
පසුව ඔහු 27 වැනි දින නීතිඥවරයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් නිවැරැදිකරු බව නැවත ප්‍රකාශ කරන ලදී.
ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය අධිකරණය අමතමින් 2005 පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය අනුව රුපියල් ලක්ෂයකට අඩු රජයේ දේපළක් වංචා කළ පුද්ගලයකු දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන මත නීතිමය පියවර ගන්නා තුරු ඇපමත මුදා හැරීමට හැකි බව ප්‍රකාශ කරමින් ඇපමත මුදාහරින ලද අතර අගෝස්තු 11 වැනි දින පැමිණිල්ලක් ගොනුකරන ලෙස කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.