ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ලංකාවට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල වසර 5කට පසුව ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග සංචාරයක් උදෙසා ඊයේ මෙරටට පැමිණියේය. ඔස්ට්‍රේලියානු පිලේ මුල්ම පුහුණු තුන්දින තරගය මේ 18වැනිදා පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පැවැත්වේ.

සංචාරයේ පළමු ටෙස්ට් තරගය ජූලි 26 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියෙන් ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 4වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හා තෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 13වැනිදා කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. එක්දින තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම අගෝස්තු 21 සහ 24 දිනවල කොළඹ ආර්. ෙප්‍ර්මදාස ක්‍රීඩාංගණයේදී දිවා - රාත්‍රී ලෙස පැවැත්වෙන අතර, 3 වැනි සහ 4 වැනි එක්දින තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අගෝස්තු 28 සහ 31 දිනවල පැවැත්වේ. අවසන් එක්දින තරගය සැප්තැම්බර් 4 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දින නියම කොට තිබේ. විස්සයි 20 තරග දෙක සැප්තැම්බර් 6 දා පල්ලේකැලේදී හා සැප්තැම්බර් 9දා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලක් අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 2011දී වන අතර එහිදී ඔස්ට්‍රේලියාව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් අතර පල්ලේකැලේ හා එස්.එස්.සී පිටියේ පැවැති තරග දෙක ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. එය මයිකල් ක්ලාක් නායකයකු ලෙස කළ පළමු සංචාරය වීම ද විශේෂත්වයක් විය

මෙතෙක් ඕස්ට්‍රෙලියානු පිල ශ්‍රී ලංකාව තුල සිදුකළ ක්‍රිකට් සංචාරවලදී ටෙස්ට් තරග 13කට සහභාගීවී තරග 6ක ජය සතු කරගෙන ඇති අතර තරගයක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. දෙරට අතර ශ්‍රී ලංකාවේදී එක්දින ජාත්‍යන්තර තරග 14ක් පවත්වා තරග 9ක ජය ශ්‍රී ලංකාවත් තරග 5ක ජය ඔස්ට්‍රේලියාවත් හිමි කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති විස්සයි 20 තරග දෙකේම ජය ශ්‍රී ලංකා පිල සතුව තිබේ.