යාපන සරසවියේ පහරදීම හෙළා දකිනවා

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී එම විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට කළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අදාළ පහරදීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එම උත්සවයේදී සිංහල සංස්කෘතිකාංගයක් ප්‍රදර්ශනය කිරීම මෙම අන්තවාදී ප්‍රචණ්ඩකාරී පහරදීමට හේතුවී ඇති බවද සිංහල අනන්‍යතාව සහිත සංස්කෘතිකාංග තම ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය නොකළ යුතු බවට තර්ජනය කරමින් ඉහත පහරදීම සිදුවී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මෙම අන්තවාදී සිසුන් සහ බාහිරින් පැමිණි පිරිස් සිංහල සිසුන්ට පමණක් නොව මෙහිදී නැටුම් ශිල්පීන්ට පවා පහර දී ඇත. ‍පොලු සහ යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුම් යොදාගෙන සිදුකර ඇති මෙම පහරදීමෙන් බේරී ආරක්ෂිත ස්ථානයක රැඳී සිටි පිරිසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම අන්තවාදීන් කටයුතු කර තිබේ. පහරදීමෙන් හා ගල්මුල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසු පිරිස මේ වන විට රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.

මෙවැනි බරපතළ තත්ත්වයක් යුද්ධයක් අවසන් වී ගෙවී ගිය කාලය පුරාම සිදුව නැත. 2015 ජනවාරි 08 වැනිදා පිහිටුවන ලද පාලන තන්ත්‍රය විසින් දිගින් දිගටම අන්තවාදීන්ට උඩගෙඩි ලබාදීම හේතුවෙන් උතුරේ දැඩි අන්තවාදී ප්‍රවණතාවක් හටගෙන තිබේ. පසුගිය නොවැම්බර් මාසයේදී යාපනය විශ්ව විද්‍යාලය තුළ ඊළාම් සිතියම් පසුබිමේ තබාගෙන ඊනියා මහ විරු දින සැමරුම් පැවැත්වූයේද ඒ බව මනාව පෙන්නුම් කරමිනි. මෙම අන්තවාදීන් තුළ දැඩි සිංහල විරෝධී මානසිකත්වයක් හටගෙන ඇත. ඒ හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලය තුළ සිටින සිංහල සිසුන් මෙම වෛරී සහගත ප්‍රහාරයට ලක්ව තිබේ.

උතුරේ අන්තවාදයට ගෙවී ගිය වසර එකහමාර පුරා උඩගෙඩි දුන් මේ ආණ්ඩුව මෙවැනි පිළිකුල් සහගත ප්‍රහාරයක් එල්ලවීමට වගකිව යුතුයි. එසේම උතුරේ මෙම ප්‍රවණතාව වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙසද අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නෙමු. එමෙන්ම සිසුන්ට පහරදීමෙන් නොනැවතී සිංහල ජනතාවට උතුරට යාමට බැරි වාතාවරණයක් උද්ගත වන තැනට මෙම ගැටලුව වර්ධනය විය හැක.