ව්‍යාජ ගමන් බලපත්‍ර මුද්‍රණ ආයතනයක් වටලයි

කොළඹ අවිස්සාවේල්ල පාරේ කොටිකාවත්ත ප්‍රදේශයේ නිවෙසක තිබී ව්‍යාජ ගමන් බලපත්‍ර 75ට වැඩි ප්‍රමාණයක්, ව්‍යාජ කුවේට් වීසා සහිත ගමන් බලපත්‍රවල කොටස් සහ පුද්ගලයන් රැසකගේ ජාතික හැඳුනුම්පත් තොගයක් සමඟ එම ස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය කියයි.

මෙයට අමතරව වීසා සැකසීම සඳහා උපයෝගී කරගත් පරිගණක මුද්‍රණ යන්ත්‍ර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම් සඳහන් ව්‍යාජ මුද්‍රා, ආගමන විගමන පැමිණීමේ සහ පිටවීමේ ව්‍යාජ මුද්‍රා, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්, මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද මේ වැටලීමේ දී පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් මරදන්කඩවල සහ කැකිරාවේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. පසුගිය ජූනි මාසයේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ව්‍යාජ වීසා සහිතව කුවේට් රටට යාමට පැමිණි අවසථාවේ මේ ජාවාරම ගැන තොරතුරු හෙළිවීමෙන් පසු කළ පරීක්ෂණයේ දී සොයා ගත් තොරතුරු මත මේ වැටලීම කර ඇති අතර එම කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (21) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.