කෙල්ලක් බෙදා ගන්න මැරෙන්න හදලා

උපකාරක පන්තියක් සඳහා අනුරාධපුර නගරයට පැමිණි පාසල් වයසේ පසුවන තරුණයන් දෙදෙනකු අතර පෙම්වතියක් බෙදා ගැනීමට නොහැකිව ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් කඩදාසි කැපීමට යොදාගන්නා පේපර් කටරයකින් කපා ගැනීම හේතුවෙන් ගෙලට බරපතළ තුවාල සිදුවී අතකට සුළු තුවාල සිදුවූ තරුණයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවැසුවේය.

ඊයේ (12දා) දහවල් දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුමෙන් එක් සිසුවකු එල්ල කළ තියුණු පේපර් කටර් ප්‍රහාරයෙන් ගෙලට බරපතළ තුවාල සිදුවී ඇති අතර එම කටරයම උදුරාගෙන අනෙක් සිසුවා ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඔහුගේ අතකටද තුවාල සිදුවී ඇති බව පොලිසිය පැවැසීය.


ගෙල කැපුණු තරුණයා හදිසි ශල්‍යකර්මයකට භාජන කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ප්‍රහාරය සඳහා මිලදීගත් පේපර් කටරය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ සිසුවන් දෙදෙනා අනුරාධපුර ඇළයාපත්තුව හා තලාව ප්‍රදේශයන්හි පදිංචි 17 හැවිරිදි තරුණයන් බව පොලිසිය පැවැසුවේය.

තරුණයන් දෙදෙනාම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම නිසා අනුරාධපුර නව නගරයේ පිහිටි උපකාරක පන්තියකට පැමිණෙන බවත් එම පන්තියේම ඉගෙනුම ලබන නිවුන් තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු සමඟ තිබෙන පෙම් පලහිලව්වක් නිසා ගැටුම සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන මහතා ඇතුළු පිරිසක් ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.