මුරලිට තිලංගගෙන් චෝදනා

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවිම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන  මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහි සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ මුත්තයියා මුරලිදරන්ට එරෙහිව චෝදනා දෙකක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවයි.

කණ්ඩායම් කළමනාකරු චරිත් සේනානායක මහතාට බැණවැදීමත්,අවසරයකින් තොරව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පුහුණුව ලබාදීමත් ඔහුට එරෙහිව චෝදනා ලෙස පවතින බව හෙතෙම සිහිපත් කළේය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන දැනුවත් කිරිමට පියවර ගත් බව තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමග දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පල කළේය.

මුරලිට අතීතයේ මුහුණදෙන්නට සිදුවූ ගැටළු සහගත අවස්ථාවන් 3දී ඔහු බේරාගැනීමට ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කළ බවත්,පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ වෘත්තීයභාවය පිළිබඳ ගැටළුවක් නැතත් සදාචාරාත්මක ප්‍රශ්නයක් පවත්නා බවත් තිලංග සුමතිපාල මහතා පෙන්වා දුන්නේය.

ඔහුගේ ගම් ප්‍රදේශය තුළ ඔහුගේ නමින් පවත්වනු ලබන තරඟාවලියකට අදාළව තමන්ගේ නමින් නම් කළ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ රටට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට සදාචාර විරෝධී ලෙස පුහුණුව ලබාදීමට ඔහු තීරණය කිරීම ඉතා කනගාටුදායක බවත්,එය ඔහුගේම ප්‍රතිරූපයට හානියක් බවත් සුමතිපාල මහතා අවධාරණය කළේය.

මේ අප විසින්ම ගොඩනැඟුව ක්‍රීඩකයින් බැවින් හිතට ලොකු අමාරුවක් දැනෙන බව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේය.

ඉදිරියේදී නවක ක්‍රීඩකයින්ට තැන ලබාදී කණ්ඩායම ශක්තිමත් ලෙස ගොඩනඟන බවත්,ප්‍රතිවිරුද්ධ පිළෙන් මුරලිලා දහ දෙනෙකු පන්දු යැව්වද,මුරලි යනු මේවන විට හිටපු ක්‍රීඩකයෙකු පමණක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.