කසිප්පු පෙරපු මාර පොරක් අල්ලයි

කැලයේ සැඟවී වනගත ජීවිතයක් ගත කරමින් විවාහ කරගෙන සිටින බිරින්දෑවරුන් තිදෙනා හා දරු තිදෙනා පෝෂණය කිරීමට කසිප්පු පෙරමින් සිටි තරුණයකු කසිප්පු හා උපකරණ තොගයක් සමඟ අනුරාධපුර උළුක්කුලම පොලිස් විශේෂ කාර්යබළකා කඳවුරේ නිලධාරීන් පෙරේදා (27දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර මීගහවැව ගන කැලෑ ප්‍රදේශයේ පුද්ගලයකු කසිප්පු පෙරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකර කසිප්පු ස්පී්‍රීත්තු බෝතල් 50ක් ගෝඩා බැරල් දෙකක්, පෙරීම සඳහා යොදාගන්නා තඹ දඟරයක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කෙළේය.

තිස්තුන් හැවිරිදි සැකකරු විවාහ තුනක් සිදුකරගෙන සිටින පුද්ගලයකු බවත් ඔහු නිවෙස් කරා නොගොස් කැලයට වී කසිප්පු පෙරමින් සිටින බවට තොරතුරු අනාවරණය කරගත් බවත්ඵ පොලිස් විශේෂ කාර්ය බළකාය පැවැසීය. ඔහු මදු ගසා සතුන් මස් පිණිස අල්ලා ගන්නා බවත් අත්‍යවශ්‍ය කරුණකට පමණක් නිවෙසට යන බවත් නිලධාරීන් අනාවරණටය කර ගෙන තිබිණි.

කිහිපයක්ම පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර අධිකරණයේ විභාග වන නඩු කිහිපයකට ඔහුට වරෙන්තු නිකුත් කර ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සිටින ස්ථානයක් සොයා ගැනීමට අනුරාධපුර පොලිසියේ නිලධාරීන් පසුගිය මාස කිහිපයේම පරීක්ෂණ සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබිණි.